සර්ව පාක්ෂික ආණ්ඩුව හා ජාතික සභාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය

1948න් පසු ශ්‍රී ලංකා ඉතිහාසයේ උද්ගතවූ දරුණුතම ආර්ථික අර්බුදයේ බරපතලකම හා දේශපාලන අස්ථාවරත්වය මනාව තේරුම්ගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, මීට වසරකට පමණ පෙර සිට, එනම් කොවිඩ් 19 වසංගතය තීව්‍ර අවදියේ පටන්ම, අර්බුදකාරී තත්ත්වය කළමනාකරණය කරනු පිණිස සර්ව පාක්ෂික වැඩපිළිවෙලක වැදගත්කම අවධාරණය කළ බව සිහිපත් කරනු කැමැත්තෙමු. මෙම වසරේ මාර්තු මස මුළදී එම යෝජනා පදනම් කරගනිමින්, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සර්ව පාක්ෂික සමුළුවක් කැඳවනු ලැබීය. ඒ සඳහාද ඉන් පසුව වත්මන් ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා ඇතුලු විවිධ වගකිව යුත්තන්ගේ ආරාධනා අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා වන සාකච්ඡා වලට සහභාගී වූ අතර, පක්ෂයේ සමස්ත ලංකා කාරක සභාව, මධ්‍යම කාරක සභාව ඇතුළු වගකිවයුතු ව්‍යුහයන්ගේ අනුමැතිය සහිතව යෝජනාවලීන්ද ඉදිරිපත් කිරීමට කටයුතු කළෙමු. සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා වන යෝජනාවන් හිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු අර්බුදය මනාව වටහා ගත් බොහෝ සහෝදර දේශපාලන කඳවුරු අවධාරණය කළ ප්‍රධාන කරුණු නම්, එය අන්තර් කාලීන අර්බුද කළමනාකරණ යාන්ත්‍රණයක් විය යුතු බවත්; සියලු පක්ෂ වල නායකයින්ගේ නියෝජනයකින් සැකසෙන ජාතික විධායක සභාවකින්, අග්‍රාමාත්‍යවරයා තෝරාගත යුතු බවත්, ඉතා සීමිත සාමාජිකයන් සංඛ්‍යාවකින් සමන්විත කුඩා අර්බුද කළමනාකරන කැබිනට්ටුවක් පත්කරගත යුතු බවත්, එම කැබිනට් විෂයය පථයන් සඳහා උපදේශකත්වය සැපයීමට විෂයානුබද්ධ ප්‍රවීණයන්, විද්වතු අනුයුක්ත කළ යුතු බවත්, වෘත්තිකයන් සිවිල් ක්‍රියාකාරීන් ඇතුළු පාර්ශවයන්ගෙන් සමන්විත ජාතික උපදේශක සභාවක් ස්ථාපනය විය යුතු බවත්; හා අර්බුදය සමනයවත්ම නව ආණ්ඩුවක් තෝරාපත් කර ගැනීම සඳහා මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කළ යුතු බවත් ය. එවැනි, වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම සර්ව පාක්ෂික ආණ්ඩුවක් සදහා සාකච්ඡා පවත්වමින් සිටියදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කිරීමම එම යෝජනාවලට පටහැනි විය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පලායෑමෙන් පසුව පළමුව රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා වැඩබලන ජනාධිපතිවරයා වශයෙන් පත් කරනු ලැබීය. පසුව රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ලෙස පාර්ලිමේන්තු බහුතරයකින් තෝරා පත්කරගැනීම ව්‍යවස්ථානුකූළ විය හැකි නමුත්, එය පොදු ජනමතයට කොතෙක් අනුකූලද යන්න මතභේධාත්මක ය. නොඑසේ නම් එය ජනමතය විකෘති කිරීමකි. පසුගිය මාස කීපය මුළුල්ලේ උද්ගතවූ විරෝධතා විධායක ජනාධිපතිවරයා පළවා හරින තැන දක්වා වර්ධනය වූයේ රාජ්‍යයේ ප්‍රධානියා වන විධායක ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය නිසාම ශ්‍රී ලංකා රාජ්‍යය අසාර්ථක රාජ්‍යයක් බවට පත්වූ නිසාය. එම තනතුරේ සර්වබලධාරීත්වය, අල්ලස දූෂණය හෝ වෙනත් කිසිදු වරදක් සඳහා හිමි දණ්ඩමුක්තිය, විනිවිදභාවයකින් තොරවීම, වගවීමෙන් බැහැරවීම ආදී හේතු සාධක නිසාම යෝජිත අන්තර් කාලීන සර්ව පාක්ෂික ආණ්ඩුවේ ප්‍රධාන තීන්දු තීරණ ගතයුතු බලවත්ම අධිකාරිය ලෙස ජාතික විධායක සභාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් යෝජනා කරනු ලැබිණි. අන්තර් කාලීන සර්ව පාක්ෂික ආණ්ඩුවක් සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා තුළ තිබූ සාධනීය උනන්දුව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා තුළද විය. මේ අතරතුරදී යෝජිත විධායක සභාව පත්කර ගැනීම සදහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් කැදවනු ලැබූ රැස්වීම් වලදී ආන්ඩුවේ බහුතරය හිමි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුනු දේශපාලනඥයින්ගේ දැඩි ස්ථාවරය වූයේ යෝජිත ජාතික සභාවට ව්‍යවස්ථාපිත බලයක් ලබාදීම සිදු නොකළ යුතු බවය. එවැනි තත්ත්වයකදී ආණ්ඩුව විසින් අනපේක්ෂිත හා ඉතාමත් කණගාටුදායක ලෙස විශාල රාජ්‍ය අමාත්‍ය තනතුරු සංඛ්‍යාවක් පිරිනැමීමෙන් විද්‍යාමාන වූයේ ආණ්ඩුව තුළ සර්ව පාක්ෂික ආණ්ඩුවක් ස්ථාපනය සදහා කිසිදු ධනාත්මක හෝ අව්‍යාජ උවමනාවක් නොමැති බවයි. විශේෂයෙන්ම පක්ෂ නායකත්වය සමග කිසිදු සාකච්ඡාවකින් තොරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් ගණනාවකට රාජ්‍ය අමාත්‍යධූර පිරිනැමීමේ ආණ්ඩුවේ දේශපාලන අවිචාරයද අප පක්ෂයේ දැඩි සැලකිල්ලට ලක්විය. කරුණු මෙසේ තිබියදී, පසුගිය 20වන (2022.09.20) අඟහරුවාදා පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කොට තිබූ ජාතික සභාව සම්බන්ධ යෝජනාව විවාදාපන්න ය. සර්ව පාක්ෂික ආණ්ඩු සංකල්පය තුළ යෝජිත ජාතික සභාව, උද්ගත අර්බුදකාරී තත්ත්වය කළමනාකරණය සඳහා වන විධායක බලය සහිත සෙනෙට් සභාවකට පර්යාය දේශපාලන ව්‍යුහයකි. එහෙත් පාර්ලිමේන්තුවට ඉදිරිපත්වි ඇති යෝජනාවේ ජාතික සභාවට පැවරෙන අධිකාරී බලයට හා පොදු වගකීම වලට අනුව එය කතානායකවරයාගේ සභාපතිත්වයෙන් යුත් තවත් උපදේශක කාරක සභාවක් පමණක් බව පැහැදිළිය. එය ආණ්ඩුවේ සියලු තීරණ සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ වල අනුමැතිය වක්‍රාකාරව ලබාගැනීමම අරමුණු කරගත් නාමමාත්‍රික කමිටුවක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අදහසයි. සර්ව පාක්ෂික ආණ්ඩුවක් ස්ථාපනය කරමින් රටේ දේශපාලනික ස්ථාවරත්වයක් ගොඩනැගී ඇති බව ජාත්‍යන්තර ප්‍රජාවට ව්‍යාජයෙන් හැඟවීමට මේ තුළ උත්සහ දරා ඇති බව පැහැදිළිය. එම නාම මාත්‍රික ‘ජාතික සභාව’ මගින් රට පුරා සිදුවූ ජනතා නැගීසිටීම් වලට යුක්තිය ඉෂ්ඨ නොවන බවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරයයි. මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් යෝජිත ජාතික සභාව නියෝජනය කිරීමෙන් වැළකී සිටීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තිරණය කරන අතර, ශ්‍රී ලංකා රාජ්‍යයේත්, ශ්‍රී ලාංකීය ජාතියේත් යහපත හා සුරක්ෂිතතාව පිණිස ආණ්ඩුව විසින් ගනු ලබන ඕනෑම සාධනීය ප්‍රතිපත්තිමය තීරණයකදී පටු දේශපාලනික වාසි නොතකා සහය දීමට විපක්ෂයේ සිට කටයුතු කරන බවත් ප්‍රකාශ කර සිටිමු. එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙම ස්ථාවරයට සමගාමීව යෝජිත ජාතික සභාවට සහභාගී වීමෙන් වැලකී සිටි සියලු සහෝදර දේශපාලන පක්ෂ වෙත අපි අපේ ආචාරය පුදකර සිටිමු.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *