ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 71 වන සංවත්සරය

2022.09.02

විශේෂ ජනමාධ්‍ය නිවේදනය

  1. වසර 443ක සෘජු යටත් විජිතවාදයෙන් අත්මිදී ගතවූ වසර 74ක කාලය තුළ අප මාතෘ භූමිය මුහුණ දුන් දැවැන්තම ආර්ථික සමාජ හා දේශපාලනික අර්බුදය සමස්ත ශ්‍රී ලාංකීය ජාතියම අත්විඳීමින් සිටී. 1977 න් පසුව හඳුන්වාදුන් ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන්, සියවස් ගණනාවක් තිස්සේ ස්වයංපෝෂිත රාජ්‍යයක් වූ අපගේ දේශයේ ආර්ථික පරාධීනත්වය වර්ධනය වූවා පමණක් නොව, දැවැන්ත සමාජ සංස්කෘතික විනාශයක්ද ක්‍රමානුකූලව සිදුවිය. එයින් උද්ගතවූ ආර්ථික අර්බුදය විසින් ඇති කළ දේශපාලනික අස්ථාවරත්වය පසුව අරාජිකත්වයක් කරා රට තල්ලු කළේය.
  2. නිසි සමාජ ප්‍රතියාන්ත්‍රීකරණයකින් හා ක්‍රමවේදී පරිවර්තනයකින් තොරව පුද්ගල චරිත පදනම් කරගත් දේශපාලන බල ව්‍යාපෘති වල අසාර්ථකත්වය හිටපු ජනාධිපතිවරයා පළවා හැරීමෙන් ගම්‍ය වේ.
  3. වඩාත් යහපත් සමාජ ආර්ථික දේශපාලනික වාතාවරණයක් වෙනුවෙන් ක්‍රියාත්මක වූයේ යැයි බොහෝ පාර්ශව විසින් විශ්වාශය පළ කළ “අරගලය” ජාතික අර්බුධය ගැඹුරින් තේරුම් ගෙන තිබුනේද; එම අරගලය සැබෑවටම අර්බුධය සාකල්‍ය වශයෙන් නියෝජනය කළේද යන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැඹුරින් අධ්‍යයනය කරමින් සිටී.
  4. වඩාත් යහපත් හෙට දවසක් ශ්‍රී ලංකාවටත් ශ්‍රී ලාංකිකයාටත් උරුම කරදීම වෙනුවෙන් අරගල කළ සියලු සමාජ ක්‍රියාකාරීන් අනීතික ලෙස හෝ අයෝග්‍ය ලෙස අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ සිටින්නේ නම් ඒ සියලු දෙනා වහා නිදහස් කළ යුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සියලු වගකිවයුත්තන්ට තරයේ කියා සිටී.
  5. කොවිඩ්-19 වසංගත සමයේ සිටම සමකාලීන හා අනාගත අර්බුදකාරී තත්ත්වයන් පුරෝකතනය කරමින් සර්ව පාක්ෂික පරිපාලන ව්‍යුහයක වැදගත්කම අවධාරණය කලේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනපතිවරුන් දෙදෙනාම සර්ව පාක්ෂික ආණ්ඩුවක් ස්ථාපනයට යම් සාධනීය උත්සාහයන් දැරුවද, පාර්ලිමේන්තුවේ බහුතරය හිමි ආණ්ඩු පක්ෂයේ විරෝධාකල්ප හේතුවෙන් අද වන තුරුත් සර්ව පාක්ෂික ආණ්ඩුවක් ස්ථාපනය කොට දේශපාලන ස්ථාවරත්වය ඇතිකිරීමට නොහැකිවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිය කණස්සල්ල පළ කරයි. ඒ අතරම, වහා සර්ව පාක්ෂික ආණ්ඩුවක් ස්ථාපනය කිරීමට නොපමාව කටයුතු සම්පාදනය කරන්නැයි ජනාධිපතිවරයාට බලකර සිටී.
  6. අප පක්ෂය විසින් අවස්ථා ගණනාවකදී ඉදිරිපත් කර ඇති යෝජනාවලීන් ප්‍රකාරව සර්ව පාක්ෂික ආණ්ඩුවක් ස්ථාපනය නොවන්නේ නම්, ආණ්ඩුවේ කිසිදු තනතුරක් නොදැරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ගෙන ඇති තීරණය යලිත් අවධාරණය කරමු. එහෙත් එසේ නොවන්නේ නම් ජනතාවගේ සුභ සිද්ධිය හා රටේ යහපත උදෙසා රජයේ සියලු යහපත් තීන්දු තීරණ වලදී සහය පළ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නොපැකිලෙන බවද ප්‍රකාශ කරමු.
  7. පසුගිය මාස කිහිපය තුළ ක්‍රියාත්මක වූ සමාජ විරෝධතා ව්‍යාපාරයන්ගේ ඒකායන අරමුණ වූයේ දූෂිත පාලකයන්ගෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීම වුවද, එම දුෂිතයන් ක්‍රමයෙන් වත්මන් දේශපාලන ආකෘති තුළ ස්ථාන ගතවීමේ හා ස්ථාවරවීමේ ප්‍රවණතාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවධානයට ලක්වී තිබේ. එම තත්ත්වය යටතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ලබාදී ඇති ණය මුදල හා වෙනත් සහනයන් යොදා ගනිමින්, මධ්‍ය හා දිගු කාලීන වශයෙන් තිරසාර පරිවර්තනයක් කිරීමට හැකිවේද යන්න ගැටලු සහගත ය.
  8. මීට වසර හැත්තෑ එකකට පෙර අප පක්ෂය නිර්මාණය කිරීමේදී පදනම් වූ දෘෂ්ටිවාදී හරය වූයේ ආර්ථික සංවර්ධනය, සංස්කෘතික පුනර්ජීවනය හා සමාජ ප්‍රජාතන්ත්‍රවාදයයි. අදද එම ඓතිහාසික ප්‍රවේශයේ අදාලත්වය නොනැසී පවතින බව අපි විශ්වාශ කරමු. යටත්විජිතවාදයෙන් බැට කෑ යටත් විජිත විරෝධී බලවේග වූ සඟ වෙද ගුරු ගොවි කම්කරු පංච මහා බලවේගය අද වෙනත් වෘත්තීය හා සමාජ පෙරමුණු සංවිධාන ඔස්සේ ක්‍රියාත්මකය. නව යටත්විජිතවාදයට, අධිරාජ්‍යවාදයට පමණක් නොව, දේශීය ප්‍රතිගාමීත්වයට, පවුල් පාලනය ආදී බහුවිද සතුරු බලමුළු වලට එරෙහිව ඉහත කී සියලු ප්‍රගතිශීලී දේශප්‍රේමී පෙරමුණු ඒකරාශී කරගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කටයුතු කරන බව ශපත කරමු.
  9. අර්බුදය විසඳීමේ මුවාවෙන් සිදුවීමට නියමිත රාජ්‍ය ව්‍යවසාය, දේපොල විකිනීම්, අත්තනෝමතික හා අවිද්‍යාත්මක ප්‍රතිව්‍යුහගත කිරීම් හේතුවෙන් අගතියට පත්වන පාර්ශව සමගින් පුලුල් ජනතාවාදී බලවේගයක්/පෙරමුණක් ගොඩනැගීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉක්මනින් කටයුතු කරනු ඇත.
  10. බිම් මට්ටමේ සිට ජාතික මට්ටම දක්වා විධිමත්ව හා විද්‍යාත්මක ප්‍රවේශයකින් යුක්තව පක්ෂයේ මතවාදීමය පදනම, සම්පත් පදනම බලාත්මක කිරීමෙන් හා නව දේශපාලන සංස්කෘතියක් හඳුන්වාදෙමින් ශ්‍රී ලංකා ජනරජයේ බලය ප්‍රජාතන්ත්‍රවාදීව ලබාගැනීම සඳහා නොපමාව, කැපවීමෙන් යුක්තවත් අප්‍රතිහත ධෛර්යයෙන් යුක්තවත් කටයුතු කරන බවට පක්ෂයේ මෙම ඓතිහාසික71 වන සම්මේලනය ප්‍රතිඥා දෙයි.

මෛත්‍රීපාල සිරිසේන
සභාපති – ශ්‍රී ලංකා නිදහස් පක්ෂය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ 6 වන විධායක ජනාධිපති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *