මාධ්‍ය නිවේදනය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගරු සභාපති හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම සහ ජනාධිපති ගරු රනිල් වික්‍රමසිංහ මහතා අතර ජාතික ආණ්ඩුව පිහිටුවීම පිළිබඳව සාකච්ඡාවක් අද දින මුදල් අමාත්‍යංශ පරිශ්‍රයේදී පැවැත්විණි. එම සාකච්ඡාවේදී පුළුල් වශයෙන්ම ජාතික ආණ්ඩුව සෑදීමේදී එහි ව්‍යුහය සැකසිය යුතු ආකාරය පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අදහස ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හට කරුණු නවයකින් යුත් යෝජනාවලියක් ඉදිරිපත් කරන ලදී.

මෙම යෝජනාවලියේ දේශපාලනික සහ ආර්ථික වැඩපිළිවෙළ පැහැදිලිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය සඳහන් කර තිබුණි. අර්බුද කළමණාකරන කැබිනට් මණ්ඩලයක් පිහිටුවීම සහ එය පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරු අමාත්‍යාංශ සඳහා අනුයුක්ත කමිටු වෙත එක්කිරීම මෙන්ම විෂය පිළිබඳව ප්‍රවීනයන් සහ විද්වතුන් ගෙන් සමන්විත උපදේශන කමිටුවක් සෑම අමාත්‍යංශයකටම පත්කිරිමටත් මෙහිදි යෝජනාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස ඉදිරිපත් කරන ලදී. පාර්ලිමේන්තුව තුළ පිහිටුවන ජාතික සභාවේ ව්‍යුහ සහ වගකීම පිළිබඳව මෙහිදී අදහස් ඉදිරිපත් කරන ලදි.

අදාළ යෝජනාවලිය පිළිබඳව ධනාත්මක ප්‍රතිචාරයක් ජනාධිපතිතුමා දැක් වූ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම ප්‍රකාශ කරයි. ඉදිරියේ දී තවත් සාකච්ඡා වට කිහිපයක් පැවැත්වීමට මෙහිදී ජනාධිපතිතුමා යෝජනා කළ අතර, ජාතික ආණ්ඩුවේ ආර්ථික සහ දේශපාලනික වැඩපිළිවෙළ පිළිබඳව පුළුල්ව සාකච්ඡා කොට ඉදිරි දින කිහිපයේදී එකඟතාවයකට පැමිණීමට අපේක්ෂා කරන බව සඳහන් කරන ලදි.

මේ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම නියෝජිතයන් පිරිසක් සහ රජයේ නියෝජිත පිරිසක් අතර ඉදිරි දින කිහිපයේ සාකච්ඡා පැවැත්වෙන අතර, එම සාකච්ඡාවලින් අනතුරුව ජනාධිපතිතුමන් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර සාකච්ඡාවක් ඉදිරියේදී නැවතත් පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය
මාධ්‍ය ඒකකය 2022 ජූලි මස 28 වන දින

Leave a Reply

Your email address will not be published. Required fields are marked *