GSMB ආයතනය විසින් වැලි, කළුගල් හා පස් ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීමේ අයදුම්පත් සඳහා ඔන්ලයින් ගෙවීමේ ක්‍රමය අද සිට ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ.මෙම වැඩ පිළි‍වෙළ හඳුන්වා දීම පසුගිය සැප්තැම්බර් මස 30 වන දින පෙරවරුවේ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ දී ආරම්භ විය. පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා, එම කාර්යාංශයේ සභාපති අනුර වල්පොල හා අධ්‍යක්ෂ ජනරාල් සජ්ජන ද සිල්වා යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් මෙම කටයුතු සිදුවිය.

දිනපතා වැලි , කළුගල් හා පස් ප්‍රවාහන බලපත්‍ර ලබා ගැනීම සඳහා GSMB ආයතනයේ ප්‍රධාන කාර්යාලයට හා ප්‍රාදේශීය කාර්යාලවලට මහජනතාව 1000-2000ක් පමණ පැමිණෙති. මෙම තත්ත්වය අවම කරමින් ඔවුන්ට ඔන්ලයින් ක්‍රමයට එම කටයුතු සිදු කිරීමට අවස්ථාව ලබා දී තිබේ. මෙම වසරේ ගත වූ කාලය තුළ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් නිකුත් කර ඇති බලපත්‍ර සංඛ්‍යාව 777,000කි. මෙම වසර අවසන් වනවිට බලපත්‍ර මිලියනය ඉක්මවා නිකුත් කිරීමට සිදු වන බව මෙම අවස්ථාවට සහභාගි වෙමින් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.