ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාත්‍යන්තර කම්කරු දින පණිවුඩය

19 වන ශත වර්ෂය පුරා වර්ධනය වූ විවිධ කම්කරු සේවක අරගල වල ප්‍රතිඵලයක් වශයෙන් 1891 මැයි මස පළමු වනදා සිට දී පමණ ජාත්‍යන්තර කම්කරු දිනයක් ප්‍රකාශයට පත් වූ අතර, 1927 තරම් ඈත කාලයක සිට ශ්‍රී ලංකාවේද සෑම වසරකම මැයි මස පළමුවනදා ජාත්‍යන්තර කම්කරු දිනය සැමරීම සිදු කෙරෙයි.

ශ්‍රී ලාංකීය වැඩ කරන ජනතාව මෙවර කම්කරු දිනය සමරන්නේ පෙර නොවූ විරූ අභියෝග රාශියක් මධ්‍යයේ ය. සමස්ත රටම බරපතල ආර්ථික අර්බුධයකින්, දේශපාලන අස්ථාවරත්වයකින් හා අරාජිකත්වයෙන් පීඩා විඳන මේ තීරණාත්මක මොහොතේ වැඩකරන ජනතාව අන් කවරදාකටත් වඩා වැඩි පීඩනයකටත්  මාතෘභූමිය දැඩි අවදානමකටත් මුහුණ දී ඇත. ආර්ථික අර්බුධයේ බලපෑම පන්ති භේධයකින් තොරව සමාජයේ සියලු ස්ථරයන්ගේ දිවිපැවැත්ම අභියෝගයට ලක් කර තිබේ. රාජ්‍ය සේවය විවිධ කප්පාදු කිරීම් වලට ලක් වෙද්දී දිනෙන් දින කර්මාන්ත වැසීයාමේ ප්‍රවණතාව නිසා වැඩබිම ඇත්තේ දැඩි අවදානමක ය. විදේශ සංචිත ආදිය සිඳීයාමෙන් රට බංකොලොත් රාජ්‍යයක් වෙද්දී අත්‍යවශ්‍ය භාන්ඩ හිඟය, උද්ධමනය ආදී හේතූන් නිසා නුදුරේදී සාගතද අනතුරුව වසංගතද උද්ගත විමට නියමිතය. මෙම අර්බුදකාරී තත්ත්වය අතරතුර ස්වකීය න්‍යාය පත්‍ර ඉටු කරගැනීම සඳහා අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට මාන බලන්නා වූ ජාත්‍යන්තර බලවේගද ක්‍රියාත්මක වනු පෙනේ.

යටත් විජිත බලපෑමෙන් රට දේශපාලනිකව නිදහස් කර ගැනීමටත්, තිරසාරව  සංවර්ධනය කිරීමටත් නිදහසින් පසු 1977 තෙක් පත්වූ පාලන තන්ත්‍රයන් උත්සහ දැරුවද, ඉන් අනතුරුව ඉකුත් දශක හතරහමාරක කාලය තුළ රට පාලනය කළ සියලු පාර්ශව වත්මන් අර්බුදයට වගකිව යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය යි. ප්‍රතිපත්තිමය දුර්වලතා හැරුණු විට දූෂණය වංචාව අකාර්යක්ෂමතාව ඥාති සංග්‍රහය ආදිය දේශපාලනය රාජ්‍ය සේවය ඇතුළු සෑම අවකාශයකම පොදු සාමාන්‍ය තත්ත්වයන් බවට පත්ව ඇත.

එහෙයින් මේ තීරනාත්මක අවස්ථාවේ, සර්ව පාක්ෂික පාලන මණ්ඩලයක් ඔස්සේ අන්තර් කාලීනව දේශපාලන ස්ථාවරත්වය ගොඩනගා ගැනීමටද, මූල්‍ය ස්ථාවරත්වය ඇති කරගැනීමටද, දූෂිතයන් පලවා හැරීමටද, කෘෂිකර්ම, කර්මාන්ත, සේවා ආදී විවිධ ක්ෂේත්‍ර වල දැවැන්ත කඩාවැටීම් සීග්‍ර ප්‍රතිසංස්කරනයකට ලක් කිරීමටද, පොදු ජනයා වෙනුවෙන් සහන දිනාගැනීමටද වැඩකරන ජනතාව සමගින් අරගල කළ යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අදහසයි.

වැඩබිමට යුක්තිය!

මව්බිමට ශක්තිය!!