“මුළු රටම හරි මඟට” පක්ෂ 11ක ජාතික ප්‍රකාශනය එළිදැක්වෙයි…

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ලංකා සම සමාජ පක්ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ජාතික කොංග්‍රසය, පිවිතුරු හෙළ උරුමය, ශ්‍රී ලංකා මහජන පක්ෂය, විජය ධරණී ජාතික සභාව, එක්සත් මහජන පක්ෂය, යුතුකම ජාතික සංවිධානය යන දේශපාලන පක්ෂ 11 විසින් සකසන ලද “මුළු රටම හරි මඟට” ජාතික ප්‍රකාශනය එළිදැක්වීම පක්ෂ සභාපතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් (2022.03.02) දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, මොනාක් ඉම්පීරියල් ශාලාවේ දී සිදුකෙරිණි.මහාචාර්ය පූජ්‍ය කඹුරුගමුවේ වජිර, මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස, මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන යන නාහිමිවරු ප්‍රමුඛ මහා සංඝරත්නයෙහි ආශිර්වාද මධ්‍යයේ ජාතික ප්‍රකාශනය එළි දැක්වීම සිදු විය.දීර්ඝකාලීනව මෙරට ආර්ථික පදනම ශක්තිමත් කිරීම,දේශීයත්වය මුල් කරගත් නිෂ්පාදකයන් දිරිමත් කිරීම,බහුතරයක් ජනතාවට ආර්ථික ඉඩප්‍රස්තා සලසමින්සමාජ සාධාරණත්වය තහවුරු කෙරෙන වර්තමාන අර්බුදකාරී ආර්ථිකය ජයගැනීම මෙහි මූලික අරමුණයි.ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක, හයවන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ජාතික නිදහස් පෙරමුණේ නායක, අමාත්‍ය විමල් වීරවංශ, පිවිතුරු හෙළ උරුමයේ නායක, අමාත්‍ය උදය ගම්මන්පිල, ජාතික කොංග්‍රසයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ. එල්. එම්. අතාවුල්ලා, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජී. වීරසිංහ,ලංකා සමසමාජ පක්ෂයේ නායක, මහාචාර්ය තිස්ස විතාරණ,විජයධරණී ජාතික සභාවේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමි,ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක අමාත්‍ය වාසුදේව නානායක්කාර,එක්සත් මහජන පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස්, යුතුකම ජාතික සංවිධානය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග, ශ්‍රී ලංකා මහජන පක්ෂය නියෝජනය කරමින් එහි භාණ්ඩාගාරික නවරත්න බණ්ඩාර යන පක්ෂ නායකයින්,පක්ෂ නියෝජිත අමාත්‍යවරුන්,මන්ත්‍රීවරුන්,පක්ෂ සංවිධායකවරුන් හා පක්ෂ ක්‍රියාකාරීන්,විද්වත්හු, වෘත්තිකයෝ, කලාකරුවෝ ඇතුළු සම්භාවනීය පිරිසක් මෙම අවස්ථාව සදහා එක් වන ලදී.දේශපාලන මතවාද පසෙකලා රට වෙනුවෙන් එකට එක් වී “මුළු රටම හරි මගට” ගෙන යන ජාතික වැඩපිළිවෙළට එක් වෙමු.

– මාධ්‍ය අංශය –