රටේ මහජනතාවගේ ප්‍රශ්න සම්බන්ධව දැඩි අවධානය යොමු කර ඒවාට නිසි විසඳුම් ලබා දීමේ වැඩ පිළීවෙළක් රජය මගින් කඩිනමින් අරඹන්නැයි මල්වතු නායක හිමියන් උපදෙස් දුන් බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

රටේ ජනතාවට විශාල ලෙස බලපාන ප්‍රශ්න රැසක් තිබෙනවා. නමුත් ඒවාට විසඳුම් ලබා දෙන නිසි වැඩ පිළිවෙළක් රජය විසින් ක්‍රියාත්මක කර ඇති බවක් මෙතෙක් පෙනෙන්නට නැති බවත්, එම ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම සඳහා නිසි වැඩ පිළිවෙළක් කඩිනමින් අරඹන්නැයි මල්වතු පාර්ශ්වයේ මහා නායක අති පූජ්‍ය තිබ්බොටුවාවේ සුමංගල නා හිමියන් තමන්ට ප්‍රකාශ කළේ යැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.ඊයේ පෙරවරුවේ (23) නායක හිමියන් බැහැ දැකීම පිණිස අමාත්‍යවරයා මල්වතු විහාරයට ගියේය. එහිදී උන්වහන්සේ සමග සාකච්ඡා කළ අමාත්‍යවරයා මහනුවර දිස්ත්‍රික්කයේ පරිසර සංරක්ෂණය සඳහා ඉදිරියේ ක්‍රියාත්මක කිරීමට යෝජිත වැඩ පිළිවෙළ පිළිබඳව සඳහන් කළේය. එමෙන්ම මහවැලි ගඟ ආශ්‍රිතව සිදුවන විශාල පාරිසරික හානිය සම්බන්ධව ද, ඒවා වැළැක්වීමට ක්‍රියාත්මක කළ යුතු නෛතික පියවර සම්බන්ධව ද අමාත්‍යවරයා කරුණු ඉදිරිපත් කළේය. ඒ අනුව ඉදිරි කාලය තුළ මහනුවර නාගරික සීමාව තුළ මහවැලි ගඟට සිදුවන පාරිසරික හානිය වැළැක්වීම සඳහා පුළුල් වැඩ පිළිවෙළක් අරඹන බව ද සඳහන් කළේය. එම අවස්ථාවේ දී රටේ දැනට මහජනතාවට මුහුණ පෑමට සිදු ව තිබෙන ප්‍රශ්න විසඳීම සඳහා කඩිනම් වැඩ පිළිවෙළක් ඇරඹීමේ අවශ්‍යතාවය ද නායක හිමිපාණන්වහන්සේ අවධාරණය කළහ. ගෑස්, විදුලිය, ඉන්ධන අර්බුදය මෙන්ම කෘෂිකර්මාන්තය ආශ්‍රිතව ගොවි ජනතාව මුහුණ දී සිටින ගැටළු සහගත තත්ත්වය සම්බන්ධව ද උන්වහන්සේ කරුණු දැක්වූහ. “රටේ ජනතාවගේ ප්‍රශ්න සම්බන්ධව රජය දැනට වඩා අවධානය යොමු කර කටයුතු කළ යුතු උන්වහන්සේ ප්‍රකාශ කළා. රජය මේ වනවිට මුහුණ පා සිටින ආර්ථිකමය අසීරුතාවය පිලිබඳ මම උන්වහන්සේට කරුණු ඉදිරිපත් කළා. විශේෂයෙන් දැනට පවතින මෙම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට නම් අපේ ජාතික නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කළ යුතුමයි. රටට අවශ්‍ය සියලුම දේවල් පිටරටින් ආනයනය කිරීමට යාම තුළ වර්තමානයේ අපි මෙම අසීරුතාවන්ට මුහුණ පා සිටින බවත් මම උන්වහන්සේට කරුණු ඉදිරිපත් කළා.රටේ ජනතාව මේවනවිට විශාල වශයෙන් කැපකිරීම් කර තිබෙනවා. ඒ වගේම දේශපාලකයින් ද කැපකිරීම් කළ යුතුයි. මම කොවිඩ් 19 අවසන් වන තෙක් මගේ පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප ගන්නේ නැහැ. ඒක කොවිඩ් අරමුදලට බැර කළා. තවත් කැප කිරීම් අවශ්‍ය නම් ඒ සඳහා මම සූදානම්. ආණ්ඩු පක්ෂයේ දේශපාලඥයින් පමණක් නොව පාර්ලිමේන්තුවේ 225ම මෙන්ම නිලධාරින් ද ඒ සඳහා අවශ්‍ය පියවර ගත යුතුව තිබෙනවා” යැයි ද අමාත්‍යවරයා මාධ්‍ය වේදීන් විසින් නඟන ලද ප්‍රශ්නවලට පිලිතුරු දෙමින් සඳහන් කළේය.