2010 වර්ෂයේ සිට 2019 කාලය තුල රටට විශේෂ කාර්ය වාහන ලෙස වාහන 433 ක් ආනයනය කර මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ද්විත්‍යකාර්ය ලෙස ලියාපදිංචි කිරීම තුලින් රුපියල් බිලියන 1.5 කට ආසන්න මුදලක් (රු.1,515,500,000.00) රජයට අහිමිවීම පිළිබඳව විගණකාධිපතිවරයා විසින් රාජ්‍ය ගිණුම් කාරක සභාව වෙත දන්වන ලදී.

ඒ අනුව අක්‍රමනිකතාවය සොයාබැලීම සඳහා රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපතිතුමා විසින් මාගේ සභාපති ධුරයෙන් යුත් අනුකාරක සභාවක් පත් කල අතර එම සිදු වූ අක්‍රමණතාවය පිළිබඳව විගණකාධිපති දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නියෝජනය කරන සියලුම නිලධාරීන් කැඳවා ඊයේ (11.15) දින පාර්ලිමේන්තු කාමර අංක 2 කාර්යාලයේදී විමර්ශන කටයුතු සඳහා සහභාගී වූ අවස්ථාව.

මෙම සාකච්ඡාවේදී මේ සම්බන්ධව කරුණු ගණනාවක් අනාවරණය වූ අතර මෙම මුදල නැවත රජයට අය කර ගැනීම පිළිබඳවත්, නැවත මෙවැනි අක්‍රමනිකතාවන් නොවීමට අවශ්‍ය ක්‍රමෝපායන් සකස් කරමින් 2021 ජනවාරි මස 15 වන දිනට පෙර අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට මෙම අනුකාරක සභාවේදී තීරණය විය.

මෙම අනුකාරක සභාව සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මැතිතුමිය, දුමින්ද දිසානායක මැතිතුමා, හරිනි අමරසූරිය ආරච්චි මැතිතුමිය, වීරසුමන වීරසිංහ මැතිතුමා, අශෝක අබේසිංහ මැතිතුමා, විගණකාධිපතිතුමා, ශ්‍රී ලංකා රේගු අධ්‍යක්ෂක ජෙනරාල්තුමා, ශ්‍රී ලංකා මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්තුමා ඇතුලු මෙම ‍දෙපාර්තමේන්තු දෙකෙහිම 2011, 2012 වර්ෂවල කටයුතු කළ විශ්‍රාමික නිලධාරීන් ඇතුලු පිරිසක් සහභාගී විය.