දිවයින පුරා වැලි බෙදාහැරීම් කටයුතු ලබන වසරේ සිට ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව යටතේ සිදු කිරීමට අවධානය යොමු වී ඇති බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. වැලි බෙදාහැරීමේ දී අතරමැදියන් විසින් වැලි මිලදීගන්නන්ගෙන් ඉහළ මිලක් අයකිරීම වැළැක්වීම වෙනුවෙන් මෙම පියවර ගන්නා බව ඇමැතිවරයා සඳහන් කළේය.

ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව යටතේ වැලි බෙදාහැරීමේ කටයුතු කිරීමට ඇති හැකියාව සොයා බලන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද තමන්ට උපදෙස් දුන් බව පැවැසූ අමාත්‍යවරයා, වැලි බෙදාහැරීමේ දී අතරමැදියන් විසින් පාරිභෝගිකයන් ගසා කෑම වැළැක්වීම සඳහාත්, ගුණාත්මක බවින් ඉහළ වැලි මහජනතාවට ලබාදීමත් අරමුණු කරගනිමින් මෙම පියවර ගන්නා බව පැවසීය. වැලි කැණීම් හා මිලදී ගැනීමේ කටයුතු රාජ්‍ය ආයතනයක් වන භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශ තාක්ෂණ සේවා පෞද්ගලික සමාගම මගින් සිදු කෙරෙන බවත් ඔවුන් විසින් එම වැලි බෙදා හැරීම සඳහා ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවට සැපැයීමට නියමිත බවත් මහින්ද අමරවීර අමාත්‍යතුමන් වැඩිදුරටත් ප්‍රකාශ කරනු ලැබීය.