“අත්කමින් ලොවක් දිනන්නට”

දේශීය බතික් කළාව ජනතාව අතර ප්‍රචලිත කිරීම වෙනුවෙන් දීප ව්‍යාප්ත බතික් පුහුණු කිරීමේ මධ්‍යස්ථාන 160ක් ස්ථාපිත කිරීමේ ජාතික වැඩසටහන ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ සුරතින් අද (09) දින අරලියගහ මන්දිරයේදී සිදු කරන ලදී.

ගරු බතික්,අත්යන්ත්‍ර,රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මැතිතුමන්ගේ සංකල්පයක් මත පදනම්ව සිදු වන මෙම ක්‍රියාවලියෙහි මූලික අරමුණ වන්නේ ජාත්‍යන්තරය ජයගත හැකි දේශීය නිර්මාණ කරුවන් බිහිකරලීම හා ඇගලුම් ක්ෂේත්‍රය කෙරෙහි උණන්දුවක් දක්වන ග්‍රාමීය ජනතාව වෙත අවශ්‍ය පුහුණුව හා වෘත්තීය දැනුම ලබාදීමයි.තවද, මෙරටට ආනයන කරනු ලබන ඇගලුම් නිසාවෙන් විදේශයන්ට ගලායන දේශීය විනිමය සුරක්ෂිත කර ගැනීමත්, මෙරට තුළ බතික් හා දේශීය ඇගළුම් කෙරෙහි නව ප්‍රබෝධයක් ඇති කිරීමත්, අපේ දේ අගයන අපේ දේ සුරකින පරපුරක් බිහි කිරීමයි.

ඒ අනුව පුහුණු මධ්‍යස්ථානයක එක් කණ්ඩායමක් සදහා පුහුණුලාභීන් 25 දෙනෙකු තෝරා ගනු ලබන අතර එලෙස තෝරාගනු ලබන පුහුණුලාභීන් හට තෙමසක පුහුණුවක් ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇගළුම් ආයතනය (SLITA) ආයතනයෙහි පූර්ණ අධීක්ෂණය යටතේ ලබා දෙනු ඇත.සම්පූර්ණ පාඨමාලාව නිවැරදිව අවසන් කරනු ලබන පුහුණුලාභීන් සදහා වෘත්තීය පුහුණු මට්ටම 03 (NVQ level – 03 ) සහතිකයක් ද පිරිනමනු ලබයි.ඉන් නොනැවතී ඔවුන් වෙත බතික්,අත්යන්ත්‍ර,රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යංශය මගින් ව්‍යවසාකයින් ලෙස ඉදිරියට යාම සදහා රජයේ පිළිගත් මූල්‍ය ආයතන මගින් ණය පහසුකම් ලබා ගැනීමටත් නිවැරදි වෙළෙඳපොළ තෝරා ගනිමින් ප්‍රමිතියෙන් යුතු නිෂ්පාදනයක් අළෙවි කර ගැනීමටත් අවශ්‍ය මං මාවත් පෙන්වා දෙනු ලබයි.

සෑම දිස්ත්‍රික්කයකම මැතිවරණ ආසනයන් ආවරණය වන පරිදි මෙම බතික් පුහුණු කිරීමේ මධ්‍යස්ථාන ස්ථාපිත කිරීම සිදු කරනු ලබන අතර ඉදිරියේදී ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් ද ස්ථාපිත කිරීමට කටයුතු සැලසුම් කර ඇත.

– මාධ්‍ය අංශය – ( 2021.11.09 )