අනුබුදු මිහිදු නාහිමි සිහි කරමින් ඓතිහාසික මිහින්තලා රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් පවත්වන රාජ්‍ය පොසොන් මහා පින්කමෙහි ලේක්හවුස් – මිහින්තලා ආලෝක පූජා පුණ්‍යෝත්සවය

අනුබුදු මිහිදු නාහිමි සිහි කරමින් ඓතිහාසික මිහින්තලා රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් පවත්වන රාජ්‍ය පොසොන් මහා පින්කමෙහි ලේක්හවුස් – මිහින්තලා ආලෝක පූජා පුණ්‍යෝත්සවය ඊයේ (24) අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සමාරම්භ කෙරිණි.59 වැනි වරටත් පවත්වන ලේක්හවුස් – මිහින්තලා ආලෝක පූජාව ‍ඓතිහාසික මිහින්තලා රාජමහා විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය ආචාර්ය වළවාහැංගුණවැවේ ධම්මරතන නාහිමිගේ අනුශාසනා පරිදි සිදු කෙරේ.මෙවරද රාජ්‍ය පොසොන් මහා පින්කම නිමිත්තෙන් ආගමික වැඩසටහන් රැසක්ද සංවිධාන කර තිබේ. රට තුළ පවතින කොරෝනා වයිරසය ව්‍යාප්ත වීමත් සමඟ මෙවර පොසොන් මහා පින්කම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් ජනතා සහභාගිත්වයෙන් තොරව කිරීමට කටයුතු යොදා ඇත. ආලෝක පූජා උත්සවයේ පළමු දිනය වූ ඊයේ (23) අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා මිහින්තලා රාජ මහා විහාරස්ථානය වෙත පැමිණ එහි නටඹුන් නිරීක්ෂණය කරනු ලැබු අතර, අනතුරුව උත්සවය සමාරම්භ කෙරිණි. මිහිදු මහා රහතන් වහන්සේ මෙරටට වැඩම කර 2329 වන පොසොන් පොහෝදා වන අද (24) දිනට සමගාමීව තෙදිනක් පුරා පැවැත්වෙන ලේක්හවුස් – මිහින්තලා ආලෝක පූජා පින්කම ඊයේ (23) ආරම්භ වූ අතර, එය අද (24) සහ හෙට (25) පැවැත්වීමෙන් අවසන් වේ.ලංකා විදුලිබල මණ්ඩලයේ සම අනුග්‍රාහකත්වයෙන් පවත්වන ලේක්හවුස් ආලෝක පූජා පුණ්‍ය උත්සවය සඳහා ජනමාධ්‍ය ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල, විදුලි බල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා හා සූර්ය බල සුලං හා ජල විදුලි ජනන සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා, ඉඩම් ඇමැති එස්. එම්. චන්ද්‍රසේන මහතා,ඇතුළු මහජන නියෝජිතයන් රැසක්ද සීමා සහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති ජනාධිපති නීතිඥ ඩබ්ලිව්. දයාරත්න මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයේ සමාජිකයන්ද ඇතුළු නිළධාරින් සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *