සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ විසි එක් වන ගුණසමුරුව නිමිත්තෙනි

ඇය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මැතිණියක්ම වූවාය. ලෝක දේශපාලනය තුළ කිසිවෙකුට, කිසි කළෙක නොබිඳිය හැකි වාර්තාවක් තබමින්, “ලොව පළමු අග්‍රමාත්‍යවරිය” බවට පත්වූ ඇය, මෙරට දේශපාලනය තුළ ස්වර්ණම සළකුණ විය.

මිය ගොස් විසි එක් වසරක් ගත වුවද , අදටත් “මැතිණිය” ලෙසින් සියල්ලගේ ගෞරව බුහුමානයට පාත්‍ර වන ඇගේ , පරිණත දේශපාලන දැක්ම , සර්ව කාලයටම වලංගුය.

කුල කුමරියක්, අග්‍රමාත්‍යවරියක් බවට පත් කළ විවාහය

මහනුවර බාන්ස් රත්වත්තේ දිසාවට  සහ මහවෙලතැන්නේ වලව්වේ රොසලින් මහවෙලතැන්නේ කුමාරිහාමිට දාව, 1916 වර්ෂයේ අප්‍රේල් 17 වනදා වැඩිමහල් දියණිය ලෙස මෙලොව එළිය දුටු සිරිමාවෝ රත්වත්තේ නම් සුන්දර ගැහැණු දැරිවිය,   බලංගොඩ පහළ බාලාංශයෙන් මූලික අධ්‍යාපන ලැබ , රත්නපුරයේ පර්ගියුසන් උසස් පාසලට ඇතුළත් වී ඉන් අනතුරුව,  කොළඹ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයට පිවිස සිය අධ්‍යානය ලබා ගත්තාය. ඇය ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමය තුළ බාලදක්ෂිකාවක් ලෙස කටයුතු කළ අතර, පාසල තුළ  කැපී පෙනෙනා සිසුවියක් විය.

මහවලතැන්නේ වලව්වේ පිපි රෝස කුසුම  වූ සිරිමා යෞවණිය, සිය බලංගොඩ වලව්වට  අහම්බයෙන් මෙන් පැමිණි සොලමන් ඩයස් බණ්ඩාරනායකගේ ඇස ගැටීම, ශ්‍රී ලාංකික මෙන්ම ලෝක දේශපාලනයේ වෙනසක් සිදු කිරීමට සමත් වූ සිදුවීමක් වූ අතර, අහම්බෙන් සිදුවූ එම හමුවීම අවසානයේ, 1940 වර්ෂයේ ඔක්තෝබර් 03 වනදා විවාහයකින් කෙළවර විය.

එකී විවාහය හේතුවෙන් මෙරට දේශපාලන ප්‍රවාහයේ වෙනසක් සිදු වනු ඇති බව හෝ , එය යම් දිනක ලොව ප්‍රථම අග්‍රමාත්‍යවරිය බිහි වීමට හේතුවක් වනු ඇති බව සිරිමාවෝ රත්වත්තේ බණ්ඩාරනායක මැතිණිය එසමයෙහි සිහිනෙන්වත් නොසිතන්නට ඇත.

සමාජ සේවයට අත්පොත් තබමින්, ලංකා මහිලා සමිතියට බැඳීම

සිය විවාහය සිදුවී කෙටි කාලයක් ඇතුළත  , සමාජ සේවයට පිවිසි බණ්ඩාරනායක මැතිණිය , වර්ෂ 1941 දී “ලංකා මහිලා සමිතියේ” සාමාජිකත්වය ලබා ගත්තාය . දිළිඳු භාවය අවම කිරීම හා ග්‍රාමීය සංවර්ධනය පදනම් කරගත් වැඩසටහන් ක්‍රියාත්මක කරමින් බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත් වල  මෙන්ම  බොහෝ දුර බැහැර ග්‍රාමීය  ප්‍රදේශවලට සංචාරය කළ ඇය, එකී ප්‍රදේශ වල  වෙසෙන ජනතාව හා මුසු වෙමින් ඔවුන්ගේ ප්‍රශ්න හඳුනා ගනිමින් , ලංකා මහිලා සමිතිය හරහා, ඔවුන්ගේ  ජීවන තත්ත්වය උසස් කර ගැනීම වෙනුවෙන් ලබාදිය හැකි උපරිම දායකත්වය ලබා දෙන්නට කටයුතු කළාය .

වෛද්‍ය මේරි රත්නම් මහත්මිය විසින් ආරම්භ කළ, ලංකා මහිලා සමිතියේ සාමාජිකාවක් ලෙස, දශක දෙකකට ආසන්න කාලයක්  කටයුතු කළ ඇය, වසර අටක් එහි භාණ්ඩාගාරික ලෙස ද, දෙවසරක් උප සභාපතිනිය ලෙසද  කටයුතු කළ අතර, අග්‍රමාත්‍ය ධුරය ලැබීමෙන් අනතුරුව ඉල්ලා අස් වන තුරු, එහි සභාපතිනිය ලෙස සිය ධුරය මෙහෙය වූවාය.

බණ්ඩාරනායක  ඝාතනය හා ලොව ප්‍රථම අග්‍රාමාත්‍යවරියගේ පත්වීම

විවාහයෙන් දස වසරක් තුළ සුනේත්‍රා ඩයස් බණ්ඩාරනායක,චන්ද්‍රිකා ඩයස් බණ්ඩාරනායක හා අනුර ප්‍රියදර්ශී සොලමන් ඩයස් බණ්ඩාරනායක නමින් දරුවන් තිදෙනෙකුට දෙමව්පියන් වූ බණ්ඩාරනායක යුවළගේ එවකට  නිවස්නය වූයේ රොස්මිඩ් පෙදෙසේ ටින්ටජෙල්  නිවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවමින්,මෙරට අග්‍රාමාත්‍ය වරයා ලෙස පත්වූ, බණ්ඩාරනායක මහතා, දේශපාලන වශයෙන් කාර්ය බහුල ජීවිතයක් ගත කළ අතර, එක්ව ආ ජීවන ගමනේ සෑම දිනම ඔහු පසෙකින් හිඳ ශක්තියක් වන්නට සිරිමාවෝ මැතිණියට හැකිවිය.

කෙසේ වෙතත් අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දී තෙවසරක් ගෙවී යන්නට මත්තෙන්, විවාහයට දශක දෙකක් සම්පූර්ණ වීමටද පෙර, චීවරදාරියෙකුගේ වෙඩි පහරකට ලක්ව , අග්‍රාමාත්‍ය බණ්ඩාරනායක මහතා 1959 වර්ෂයේ සැප්තැම්බර් 26 වනදා මෙළොවින් සමුගැනීමත් සමග   සිරිමාවෝ මැතිණියට හට තම දරු තිදෙනා පිළිබඳව මෙන්ම, සැමියා විසින් බිහි කළ පක්ෂය සම්බන්ධයෙන්ද තිබූ වගකීම වැඩි විය.

බණ්ඩාරනායක මහතාගේ අභාවත් සමගම  ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වය හා රාජ්‍ය නායකත්ව පිළිබඳව අර්බුද මතු වූ අතර, ඒ සියල්ල විසඳා ගැනීමට සුදුසුම ක්‍රමය ලෙස පක්ෂයේ ප්‍රධානීන් විසින් , සිරිමාවෝ මැතිණිය හට දේශපාලනය වෙත ආරාධනා කරන්නට යෙදිණි.

අකමැත්තෙන් නමුත් , සිය සැමියා විසින් බිහි කළ පක්ෂය විනාශ වීමට දිය නොහැකි බැවින් , සිරිමාවෝ මැතිණිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වය බාර ගැනීමට එකඟ වූ අතර, ශ්‍රී ලංකා නිදහස්ට සිදුවූ ඇගේ ආගමනයත් සමග,  දේශපාලන පක්ෂයක ප්‍රථම කාන්තා නායිකාව ලෙස ඉතිහාසයටද එක් විය.

ඇගේ ආගමනයත් සමග  1960 වර්ෂයේ පැවති මහ මැතිවරණයේදී, ලැබූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජයග්‍රහණය, ලෝක දේශපාලනය වෙනස් කළ ජයග්‍රහණයක් බවට පත් කරමින්, වර්ෂ 1960 ජුලි මස 21 වන දින, එවකට මෙරට ආණ්ඩුකාර ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක මහතා ඉදිරියේ, සිරිමාවෝ රත්වත්තේ බණ්ඩාරනායක මැතිණිය ලොව ප්‍රථම අග්‍රාමාත්‍යවරිය ලෙස දිවුරුම් දුන්නාය.

අභියෝග මැද්දේ සේවයන් ඉටු කළ පළමු ධුර කාලය

ඇය අග්‍රාමාත්‍ය වරිය ලෙසට පත් වුවද , එකී තනතුර රඳා පවත්වාගැනීමට නම් තවත් අභියෝගයක් ජය ගත යුතු වූ අතර, වැඩ භාර ගැනීමෙන් තුන් මසක් යාමට මත්තෙන් සෙනෙට් සභාවේ අසුනක් ලබා ගැනීම අත්‍යවශ්‍ය විය. ඒ අනුව ඇම්.පී. ද සොයිසා මහතා සෙනෙට් සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන්,  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයෙකු ලෙස සෙනෙට් සභාවට පත්වීමට බණ්ඩාරනායක මැතිණියට හැකිවිය.

දේශපාලනයට ඇය අළුත් වුවද, ඇය සතු වූ පරිණත දැක්ම හුදෙක් අත්දැකීම් සහිත දේශපාලඥයන් පවා අභිබවා ගිය අතර, ඇගේ පළමු ධුර කාලය තුළදිම ඇය විරුද්ධ පක්ෂයට අභියෝගයක් විය.

ඒ අනුව 1962 ජනවාරි 27 වනදා ඇයව පාලනයෙන් පහ කොට, රාජ්‍ය බලය ලබා ගැනීමේ කුමන්ත්‍රණයක් දියත් කොට තිබූ අතර,  ඒ පිළිබඳව  තොරතුරු කල් ඇතිව ලැබීම හේතුවෙන්, එකී කුමන්ත්‍රණය ව්‍යාර්ථ කොට එය සැලසුම් කළ පුද්ගලයින්  අත්අඩංගුවට ගැනීමට හැකිවිය.

අභියෝග රාශියක් මැද ජනතා සේවයේ නියැළුණු මැතිණිය.  සිය පළමු ධුර කාලය තුළ සිදු කළ  පොදුරාජ්‍ය මණ්ඩලීය අග්‍රාමාත්‍යවරුන්ගේ සම්මේලනයට සහභාගි වීම තවත් ඓතිහාසික අවස්ථාවක් වූ අතර, 1961 මාර්තු 17 වනදා පැවති, පොදු රාජ්‍ය මණ්ඩලීය අග්‍රාමාත්‍යවරුන්ගේ 11 වන සම්මේලනයට ඇගේ සහභාගිත්වය, රාජ්‍ය නායිකාවක් පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුවකට සහභාගී වූ ප්‍රථම අවස්ථාව ලෙස ඉතිහාසගත විය.

පෙර සඳහන් කළ පරිදිම මැතිණියගේ පළමු ධුර කාලය තුළ ඇයට අභියෝග රාශියක් එල්ල වූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස 1964 දෙසැම්බර් මාසයේ දී පැවති පාර්ලිමේන්තු ජන්ද විමසීමකදි පරාජයට පත් වන්නට සිදු විය. ඒ අනුව  1964 දෙසැම්බර් 17 පාර්ලිමේන්තුව විසිරුවා හැර මැතිවරණයක් කැඳවන්නට යෙදිණි.

දේශපාලන අස්ථායි භාවයන් තුළ, අභියෝගාත්මක රාජ්‍ය පාලනයක යෙදුනු මැතිණිය විසින් එම සියළු අභියෝග හමුවේ වුවද , නාවින්නේ ආයුර්වේද පරීක්ෂණ මධ්‍යස්ථානය ආරම්භ කිරීම, විපස්සනා භාවනා මධ්‍යස්ථාන ආරම්භ කිරීම, සය ජාතික කොළඹ සමුළුව කැඳවීම මගින් ඉන්දු චීන විරසකයට පිළිතුරු සෙවීම, තෙල් සමාගම් පවරා ගැනීම, වියට්නාම බෞද්ධ අර්බුදයට විසඳුම් සෙවීම, සිරිමා-ශාස්ත්‍රී ගිවිසුමට අත්සන් තැබීම, වාරි කටයුතු සහ ජල විදුලි බල සංවර්ධනය සඳහා  සැලැස්මක් ආරම්භ කිරීම වැනි ජාතික මෙන්ම අන්තර්ජාතික වශයෙන් වැදගත් කාර්යන් රාශියක් ඉටු කළාය.

පසුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් අනතුරුව , 1965 මාර්තු 22 වන දින පැවති මැතිවරණයෙන්, එක්සත් ජාතික පක්ෂය ආසන 61ක් දිනාගනිද්දි,  අත්තනගල්ල ආසනයෙන් ඉදිරිපත් වූ මැතිණිය, වැඩි ජන්ද ප්‍රමාණයකින් සිය ආසනය ජය ගත්තාය.  එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පාර්ලිමේන්තු ආසන 41ක ජයග්‍රහණයක් ලැබී තිබූ අතර අතර බණ්ඩාරනායක මැතිණිය නායකත්වය දැරූ සමගි සන්ධානයට ආසන 55ක් ලැබුණි. ඒ අනුව ඇය පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරයට පත් විය.

දෙවන ධුර කාලය හා ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත්වීම

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ලංකා සමසමාජ පක්ෂය සහ කොමියුනිස්ට් පක්ෂය එක්ව  එක්සත් පෙරමුණ පිහිටුවා ගනිමින් එහි නායකත්වයට පත් වූ මැතිණිය, 1970 මැයි 27 පැවති මහ මැතිවරණයෙන්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආසන 91ක් , ලංකා සමසමාජ පක්ෂයට ආසන 19ක් හා කොමියුනිස්ට් පක්ෂයට ආසන 6ක් වශයෙන් හිමි කර ගනිමින්,  පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබමින් අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලැබුවා ය.

මෙරටට නාමිකව ලැබී තිබුණු නිදහස යතාර්ථයක් බවට පත් කරන්නට කටයුතු කළ මැතිණිය, වර්ෂ 1972 මැයි 22 දින මෙරට  ජනරජ ව්‍යවස්ථාව නීත්‍යානුකූලව පිළිගැනීමත් සමග ශ්‍රී ලංකාව ඩොමීනියන් තත්ත්වයෙන් බැහැර වී සම්පූර්ණයෙන් ම නිදහස් රටක් බවට පත්කිරීම වෙනුවෙන් සදාකාලික බුහුමානයට පාත්‍ර වන්නීය..

ඒ අනුව නව ජනරජ ව්‍යවස්ථාව යටතේ   ආණ්ඩුකාරවරයා  වෙනුවට ජනාධිපතිතුමා රාජ්‍ය ප්‍රධානි හැටියට පත්වූ අතර, එහිදී  විලියම් ගොපල්ලව මහතා පළමු ජනාධිපති පදවියට පත්වෙමින්,  මැතිණිය  අග්‍රාමාත්‍ය පදවිය ලැබුවාය.

ඇගේ දෙවන ධුර කාලය තුළ, බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාව ඉදිකිරීම ආරම්භ කිරීම,සෙනේට් සභාව අහෝසි කිරීම, ආර්ථික ස්වාධීනත්වය සහ ආර්ථික වර්ධනය අරමුණු කරගත් පස් අවුරුදු සැලැස්ම ඉදිරිපත් කිරීම, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම පත්  කිරීම, කෘෂිකර්ම ඵලදායීතා පනත ගෙන් ඒම, රාජ්‍ය චිත්‍රපට සංස්ථාව ස්ථාපිත කිරීම,  ශ්‍රී ලංකාවට කච්චතිවු දූපත ලබා ගැනීම, යාපනය විශ්වවිද්‍යාලය ස්ථාපිත කිරීම, ජාත්‍යන්තර අධ්‍යයනයන් සඳහා බණ්ඩාරනායක මධ්‍යස්ථානය ස්ථාපිත කිරීම, මහවැලි ව්‍යාපෘතිය ආරම්භ කිරීම වැනි මෙහෙවරයන් විශාල ප්‍රමාණයක් ඉටු කළාය.

කෙසේ වෙතත්, මෙම කාලය තුළදිත් ජනතා විමික්ති පෙරමුණේ නැගී සිටීම වැනි අභියෝග රාශියකට මුහුණ දුන් මැතිණිය ඒ සියල්ල ජය ගන්නට සමත් විය, 1977 මැයි මාසයේ දී ප්‍රථම ජාතික රාජ්‍ය සභාව විසුරුවා හැරි අතර, අනතුරුව 1977 ජුලි 21 පැවති මැතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පරාජය විය. 

මැතිණියගේ ප්‍රජා අයිතිය

ස්වාමියාගේ අභාවයත් සමග දේශපාලනයට පිවිසි එඩිතර හා ප්‍රඥාවන්ත ගැහැණියක් වූ මැතිණියට දේශපාලනය තුළ එදිරිවාදිකම් කළ පුද්ගලයින් රාශියක් සිටි අතර,  1977 දී ලැබූ පරාජය සමග, ජේ ආර් ජයවර්ධන පාලනය විසින්  පත් කළ  ජනාධිපති පරීක්ෂණ කමිටුවක් මගින්, අග්‍රාමාත්‍ය හැටියට සේවය කළ කාලයේ දී බණ්ඩාරනායක මැතිණිය බලය අවභාවිතා කළ බව තීන්දු කරමින් ,  ඇගේ  ප්‍රජා අයිතිය අහිමි කළාය.

ඒ සමගම නැවත 1986 දී ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා විසින් ආඥාවක්  නිකුත් කරමින් ඇගේ ප්‍රජා අයිතිය ප්‍රතිෂ්ඨාපනය කරන තුරු ඇයට ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වීමට නොහැකි විය.

තුන්වන වරටත් අග්‍රාමාත්‍ය ධුරය දරයි

ප්‍රජා අයිතිය ප්‍රතිශ්ඨාපනය වීමෙන් අනතුරුව යළිත් වරක් විපක්ෂ නායිකාව ලෙස පාර්ලිමේන්තුවට පත් වූ මැතිණිය, 1994 දි චන්ද්‍රිකා බණ්ඩාරනක ආණ්ඩුවේ කාර්ය නියමක් නොමැති අමාත්‍ය ධුරයකට පත්විය,

කෙසේ වෙතත් 1994 වර්ෂයේදිම චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ ජනාධිපතිවරණ ජයග්‍රහණය සමග , නැවත වරක් අග්‍රාමාත්‍ය ධුරයට පත්වන මැතිණිය,

2000 අගෝස්තු 10 වන දින සෞඛ්‍ය හේතුන් මත ඉල්ලා අස් වන තුරු එම ධුරයේ කටයුතු කළාය.

2000 වර්ෂයේ ඔක්තෝබර් 10 දින පැවති මැතිවරණයේදී, නිට්ටඹුවේ සංඝබෝධි මහා විද්‍යාලයේ දී තම ඡන්දය ප්‍රකාශ කළ මැතිණිය, පුරවැසියෙක් ලෙස , තම අවසන්  සේවය ඉටු කිරීමෙන් අනතුරුව කොළඹට එන අතරමග දෑස් පියාගෙන තිබුණේ, මෙරට දේශපාලනයේ ස්වර්ණමය සළකුණක මතක සටහන් ඉතිරි කරමිනි.

ගැහැණියක ලෙස දේශපාලනයට පිවිස ලෝක දේශපාලනයේ තම නාමය සනිටුහන් කරමින් , අභියෝගාත්මක ගමනක නියැළුණු ඇගේ දේශපාලන භාවිතය අදටත් මේ රටට වලංගුය.

නීතීඥ දයාසිරි ජයසේකර

මහලේකම්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *