සමකාලින සියලු බලවේග සමග එක්වී රට දිනවීම සඳහා සූදානමින් සිටින ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගෙන් ඉල්ලා සිටී.

සමකාලින සියලු බලවේග සමග එක්වී රට දිනවීම සඳහා සූදානමින් සිටින ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගෙන් ඉල්ලා සිටිනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 70 වන සංවත්සර සැමරුමට ඊයේ (02) zoom ඔස්සේ සම්බන්ධ වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.“LTTE ත්‍රස්තවාදයෙන් අත්මිදී වසර 10කට ඇවෑමෙන්, ඉස්ලාම් අන්තවාදී ත්‍රස්තවාදීගේ බිහිසුණු සිදුවීමක් සිදුවුණා. එම ප්‍රහාරයන් සම්බන්ධයෙන් ද එම ප්‍රහාරයෙන් පසු උද්ගතවූ දේශපාලන තත්ත්වයන් පිළිබඳව ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හොඳින්ම දැනුවත්. අභියෝග, මඩගැසීම්, නින්දා, අපහාස, තාවකාලික පසුබෑම් ආදිය ඕනම පක්ෂයකට ඒවා පොදු කරුණු. සියලු බලවේග සමග දැය දිනවන්න සූදානමින් සිටින්නැයි මම ඔබෙන් ඉල්ලා සිටිනවා” යි ඔහු එහිදී පැවසුවා.තාවකාලික පසුබෑම් යනු ඕනෑම දේශපාලන පක්ෂයකට පොදු කරුණක් බවද මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළා. අභියෝග, අවලාද, මඩගැසීම්, නින්දා, අපහාස යනු අෂ්ඨ ලෝක ධර්මය බවද හිටපු ජනාධිපතිවරයා කියා සිටියා.“ආදරණීය රටවැසියනි, මේ අසීරු කාලයට ධෛර්යයයෙන් යුතුව අප මුහුණ දිය යුතු අතරම, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඔබ සමඟ නිරන්තරයෙන් සමීපව සිටින බව වගකීමෙන් යුක්තව සිහිපත් කරමි. මේ අසීරු අවස්ථාවේ අප පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම ස්වකීය වැටුප කොරෝනා කළමනාකරණ කාර්ය සාධක බලකායට ප්‍රදානය කරන අතර, අප පක්ෂයේ දිස්ත්‍රික් හා ප්‍රාදේශීය සංවිධාන උපයෝගි කරගනිමින් ජාතික රුධිර මධ්‍යස්ථානය සඳහා රුධිරය පයින්ට් දස දහසක් ලබාදීමේ දැවැන්ත පුණ්‍යකර්මයද සම්බන්ධීකරණය කරමින් සිටිමු. විවිධ අඩුලුහුඬුකම් තිබිය හැකි නමුත්, වසංගතය කළමනාකරණය කිරීමට අතිගරු ජනාධිපතිතුමා ඇතුළු දේශපාලන අධිකාරියද, විශේෂඥ වෛද්‍යවරුන්ගේ සිට රෝහල් වල, ගම් මට්ටමේ මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමන්ලා, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් දක්වා වූ සෞඛ්‍ය වෘත්තිකයින්ද, ත්‍රිවිධ හමුදාව හා පොලිසියද අභියෝග මධ්‍යයේ දරන්නාවූ පරිශ්‍රමය අගය කරමි. එසේම එම ක්‍රියාවලීන් වඩාත් කාර්යක්ෂම හා ඵලදායි කරගැනීමට අවැසි සහයෝගය ලබාදීමටද අප සූදානම් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා ලෙස වගකීමෙන් සඳහන් කරමි” හිටපු ජනාධිපතිවරයා කියා තිබුණා.පක්ෂ ජ්‍යෙෂඨ උප සභාපතිවරුන් වන ඇමති නිමල් සිරිපාල ද සිල්වා, ඇමති මහින්ද අමරවීර, මහාචාර්‍ය රෝහණ ලක්ෂ්මන් පියදාස, පක්ෂ මහලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර, පාර්ලිමේන්‍තු මන්ත්‍රී අංගජන් රාමනාදන්, කථිකාචාර්ය ධම්ම දිසානායක යන මහත්වරුන්ද මෙහිදී අදහස් දැක්වූවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *