ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 71 වන සංවත්සරය

පක්ෂයේ ගරු සභාපති, 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ පණිවුඩය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 71 වන සංවත්සරය පැවැත්වීමට සිදුවී තිබෙන්නේ පෙර කවරදාකටත් වඩා බරපතල දේශපාලනික, සමාජ, ආර්ථික අර්බුධයකට අපගේ මාතෘ භූමිය මුහුණ දී ඇති අවස්ථාවක ය. 1970 දශකය අගභාගයේදී හඳුන්වාදුන් ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන් ස්වයංපෝෂිත වූ අපගේ ආර්ථියේ පරාධීනත්වය වර්ධනය වූවා පමණක් නොව, දැවැන්ත සමාජ සංස්කෘතික විනාශයක්ද ක්‍රමානුකූලව සිදුවිය. වර්තමානයේ අප අත්විඳින්නේ ඒ සියල්ලේ කූඨප්‍රාප්තිය යි. කාලීනව ආර්ථික සමාජයීය, දේශපාලනික ක්ෂේත්‍ර නිසි ප්‍රතිව්‍යුහගත කිරීමකට ලක් කිරීමට අසමත්වීමත් ජාතික සංවර්ධනය සඳහා මේ සෞභාග්‍යමත් දේශයේ සම්පත් කළමනාකරණය කිරීමට දේශපාලන අධිකාරිය අපොහොසත්වීමේත් ප්‍රතිඵලයක් ලෙස උද්ගතවූ ආර්ථික අර්බුදය විසින් ඇති කළ දේශපාලනික අස්ථාවරත්වය බැරෑරුම් අරාජිකත්වයක් කරා තල්ලු විය. ඛේදනීය ලෙස අත්‍යවශ්‍ය ආහාර, ඖෂධ, ඉන්ධන, පොහොර ආදිය සපයාගැනීම පවා දැඩි අවදානමකට ලක්වී ශ්‍රී ලංකාව වේගයෙන් අසාර්ථක රාජ්‍යයක් බවට පත්වෙමින් තිබේ. ලෝක ආහාර වැඩපිළිවෙල පෙන්වා දෙන ආකාරයට අධික උද්ධමනය හේතුවෙන් ශ්‍රී ලාංකිකයන් මිලියන 6.3ක් පමණ ආහාර හිඟයකින් පෙළෙයි.  පසුගිය දශක හතරහමාරක කාලය තුළ රට පාලනය කළ සියලු නායකයින් හා ආණ්ඩු මේ තත්ත්වයට වගකිව යුතු බව පළමු කොටම ස්වයං විවේචනාත්මකව අවධාරණය කිරීමට මම මැලි නොවෙමි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යනු ජාතික දේශපාලනික අභිලාෂයන් මුදුන් පමුනුවාලනු පිණිස බිහිවු දේශපාලන පක්ෂයකි. 1947 මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ ප්‍රභල ක්‍රියාකාරිකයකු වූ අප පක්ෂයේ නිර්මාතෘ එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක ශ්‍රීමතාණන් මීට වසර හැත්තෑ එකකට පෙර, එනම් 1951දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහිකරන්නේ වසර 443ක යටත් විජිත පාලනයෙන් පීඩාවිදි ජාතියක අනාගතය සුඛිත මුදිත කිරීම සදහා එක්සත් ජාතික පක්ෂය විසින් ප්‍රදර්ශනය කළ පූර්ණ දේශපාලන නොහැකියාව ගැඹුරින් තේරුම් ගනිමිනි.සියවස් තුනකට අධික කාලයක් යටත් විජිතකරණයෙන් රට මරා දමා තිබූණු දේශීය අනන්‍යතාවය යළි අගය කිරීම ඔසවා තැබීම කරන ලද්දේ 1956 ආණ්ඩුව විසිනි. මෙරට බිහි වූ විශිෂ්ට ගණයේ ලේඛක මහා ගත්කරු මාටින් වික්‍රමසිංහයන් මෙම වෙනස බමුණු කුලය බිඳ වැටීම ලෙසින් හැඳින් වූයේ එබැවිණි. 1948දී සෘජු යටත් විජිත පාලනයෙන් නිදහස් වුවද නව ජාතික අවශ්‍යතාවයට අනුරූප ව්‍යවස්ථාවක් නිර්මාණය කරගැනීමට අපට 1970 දශකය තෙක් බලා සිටින්නට සිදුවිය. මෙරට අධිරාජ්‍ය විරෝධී ජාතික අරගලය සම්පූර්ණ කිරීමේ කාර්යය එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක යුගයෙන් ඇරඹී එතුමා ඝාතනයෙන් පසු 1970-78 දී සිරිමාවෝ බණ්ඩාරනායක යුග තෙක් විහිදී යයි.

රබර් වලින් ටයර්, පිදුරු වලින් කඩදාසි, මැටි වලින් උළු හා පිගන් භාණ්ඩ, කපු වලින් අත්යන්ත්‍ර රෙදිපිළි, ඉරිඟු, තිරිඟු වලින් පිටි හා පෝෂණ ආහාර, යකඩ වානේ ලෝහ භාණ්ඩ ට්‍රැක්ටර් මෝටර් රථ, සපත්තු, රස කැවිලි, පසු අස්වනු තාක්ෂණ, ඇතුළත් දේශීය මහා කෘෂි නිෂ්පාදන හා කර්මාන්ත යුගය ආරම්භ වූයේ මේ සමයේදීය. රාජ්‍ය ව්‍යවසාය බිහිවිණි. ඛනිජ තෙල් පිරිපහදුවේ අතුරු නිෂ්පාදන ලෙසින් නයිලෝන් නූල්ද, යූරියා පොහොරද නිපදවූ අතර ඒවා ඉන්දියාවට අපනයනය කිරීමටද අපට හැකිවිය. ඉතා සංකීර්ණ ප්‍රතිපත්ති ජාත්‍යන්තර ආර්ථීක අර්බුදය සමාජ ප්‍රශ්න සමුදායක් සම`ග ඇරඹි මෙම ප්‍රතිපත්තිය තුළ ආනයන සීමා කිරීම් සමඟ ඇතිවන සමාජ ගැටලු ප්‍රතිගාමීත්වයට වාසී ගෙන දෙන අතර අභ්‍යන්තර ප්‍රති විරෝධතා උපක්‍රමශීලි ජාතික ජාත්‍යන්තර කුමන්ත්‍රණ ගැටුම් මධ්‍යයේ මෙම යුගය 1977 ප්‍රතිගාමීත්වයට විවෘත වෙමින් බිඳ වැටෙන්නේ මහා සමාජ ඛේදවාචකයකට නිරාවරණය කරමිනි.

1956දී මෙරට දේශපාලන ඉතිහාසයේ නව වාර්තාවක් පිහිටුවමින් 56 පෙරළිය සිදුකරන්නට පාදක වූ හේතූන් මොනවාද? ඒ නායකත්වය 1959දී ස්වකීය ජීවිතයෙන් වන්දි ගෙවන්නේ ඇයි? ඒ ඝාතනය සිදු කළේ තල්දූවේ සෝමාරාම නම් වූ චීවරධාරියාද? ඔහුට මුවාවූ ජාත්‍යන්තර බලවේග මොනවාද? ඒ ජාත්‍යන්තර බලවේග වල දේශීය ඔත්තුකරුවන් හා කුමන්ත්‍රණකරුවන් කවරහුද? 56 පෙරළියට උපයුක්ත වූ සාධක මත ඉදිරිගාමී සමාජ ආර්ථික දේශපාලන ප්‍රතිපත්ති මත පන්නරය ලබමින් පෙරට ආ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන ප්‍රගමනය වැළලීම ප්‍රතිගාමී දේශපාලන කඳවුරේ න්‍යායපත්‍රයට ඇතුළත් කරන්නේ ඔවුන් ය. ස්වදේශිකත්වය, දේශජ බව මත බිහිවන පක්ෂයක් ඊනියා ගෝලීය දේශපාලනික ආර්ථික කූඨෝපායන්ට බාධාකාරීය. ඒවා මර්ධනය කරන්නේ එබැවිණි. ඔවුන් 1977 දී යලිත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සමගි පෙරමුණු ආණ්ඩුවෙන් බලය ඩැහැගැනීමට කටයුතු නොකලෝද? 1980දී බණ්ඩාරනායක මැතිණියගේ ප්‍රජා අයිතිය අහෝසි කළේ ඒ ඒජන්තයන්ම නොවේද?  1988-89 වකවානුවේ ජ.වි.පෙ පාලනයට මුවාවී ඇත්ත වශයෙන්ම මර්ධනයට ලක්වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නොවේද? අදද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කිරීමට මාන බලන පාස්කු බෝම්බ ඉදිරියේදීත් පිපිරවිය හැකි පාර්ශවයන් ක්‍රියාත්මක නොවන්නේ යැයි කාට නම් කිව හැකිද?

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 2015 වසරේදී හඳුන්වා දුන් තිරසාර සංවර්ධන ඉලක්ක ආදී ජාත්‍යන්තර සංවර්ධන න්‍යාය පත්‍ර සමගින් ස්වදේශික සංවර්ධන උපාය මාර්ග ගලපා ගන්නේ කෙසේද? ගෝලීය වශයෙන් වරෙක යටපත් වන තවත් වරෙක මතුවන දේශපාලනික කඳවුරු බැඳීම් හා යුධ තත්ත්වයන් අතරමැද අප අපගේ විදේශ ප්‍රතිපත්තීන් කෙසේ යාවත් කාලීන කරගත යුතුද? ජාත්‍යන්තර වශයෙන් තිරසාර සංවර්ධිත දේශයක් කරා යන ගමනේදී, ප්‍රශස්ත ආණ්ඩුකරණය, ස්ථායී ව්‍යාපාරික පරිසරය, සම්පත් සමසේ බෙදී යෑම, සියල්ලන්ගේ අයිතීන් පිළිගැනීම, අසැල්වැසි රටවල් සමග හා කලාපීය වශයෙන් පවත්වා ගන්නා යහපත් සබඳතා, නිදහස් තොරතුරු ගලනය, දියුණු මානව ප්‍රාග්ධනය, වංචාව නාස්තිය හා දූෂණය අවම කිරීම ආදිය වෙසෙසින් වැදගත් වේ.  

ඒ සඳහා ගෝලීය ප්‍රවණතාද, තොරතුරු තාක්ෂණය සමග මතුවන නව සමාජ ආර්ථික සංස්කෘතික ප්‍රවණතාද ගැඹුරින් වටහා ගනිමින්, අනාගතයට විශ්වාශයෙන් යුක්තව මුහුනදී ජයගත හැකි සූදානම් ශ්‍රී ලාංකිකයකු  නිර්මාණය කිරීමේ දේශපාලන යුගකාරක මෙහෙවර අප අපේ උරමතට ගත යුතුයැයි සිතමි. අප පක්ෂයට විශිෂ්ඨ ප්‍රගතිශීලී දේශපාලනික අතීතයක් ඇත. වත්මන් අර්බුදය හමුවේ ශ්‍රී ලංකා රාජ්‍යය ආරක්ෂා කරගැනීමේ ඓතිහාසික වගකීම ඉටු කරන්නටද සුදුසු, විභවයක් සහිත එකම පක්ෂයද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බව වගකීමෙන් යුක්තව සිහිපත් කළ යුතුව ඇත. සමස්ත ශ්‍රී ලාංකික ජාතියම නායකත්වයක් සොයමින් සිටී. ආදානග්‍රාහී නොවන බුද්ධිමත් තාරුණ්‍යයට උචිත නව දේශපාලන වටපිටාවක් නිර්මාණය කිරීම සඳහා සීග්‍රයෙන් අප පක්ෂය නවීකරණය විය යුතුය. නව බලාපොරොත්තුවක් රටට දීමට  අපට හැකි වන්නේ එවිට ය. ශ්‍රී ලංකා රාජ්‍යයද, ශ්‍රී ලාංකීය ජාතියද ආරක්ෂා කරගත හැක්කේ එවිට ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *