පක්ෂ දේශපාලනය තුළ සෑම විටම ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරමින් ජනතාවාදි දේශපාලන ගමනක යෙදුනු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙම සැප්තැම්බර් 2 වන දිනට සිය අභිමානවත් 71 වන සංවත්සරය සමරයි.
වර්ෂ 1951 දී බණ්ඩාරනායක ශ්‍රීමතානන් ප්‍රමුඛ කණ්ඩායම විසින් ආරම්භ කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිය 71 වසරක ගමන් මග තුළ මෙරට අතිවිශාල, දේශපාලන, සංස්කෘතික හා සමාජීය වෙනසකට දායකත්වය සැපයූ අතර, එදා මෙදා තුර ලංකා දේශපාලන ඉතිහාසයේ ස්වර්ණමය සංධිස්ථාන සනිටුහන් කළ රාජ්‍ය නායකයන් කිහිප දෙනෙකුටම තිඹිරි ගෙයද විය.
මහා බලවේගයක ආරම්භය
ඒ 1951 වර්ෂයයි, මෙරටට ලැබුණු ඩොමීනියන් නිදහස හමුවේ බිහිවූ වූ ප්‍රථම කැබිනට් මණ්ඩලය තුළ පළාත් පාලන හා සෞඛ්‍ය අමාත්‍ය ධූරය හිමිවූ සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක මහතා, තමා සමාජිකත්වය දැරූ එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව විපක්ෂයේ අසුන් ගත්තේ, එක්සත් ජාතික පක්ෂයේ වැඩපිළිවළ තම ප්‍රතිපත්ති හා නොගැළපීම හේතුවෙනුයි.
බණ්ඩාරනායක මහතාගේ මෙම ක්‍රියාකලාපයත් සමගම ඔහුට සහය පළ කරමින් බොහෝ පිරිසක් එකතු වූ අතර, ඒ අතරින් සැප්තැම්බර් මස 2 වන දින බණ්ඩාරනායක මහතා ඇතුළුව කොළඹ නගර ශාලාවට එක් රැස් වූ විවිධ ජනවර්ග වලට අයත්, විවිධ ප්‍රදේශයන් නියෝජනය කළ පුද්ගලයන් 44 දෙනෙකු විසින් “ශ්‍රී ලංකා නිදහස් පක්ෂය” පිහිටුවා ගත් ගත්තේය. එදින එම ඓතිහාසික නාමය යෝජනා කර ඇත්තේ එවකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කළ එච් ශ්‍රී නිශ්ශංක මහතා විසිනුයි.
එලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නමින් පක්ෂයක් නිර්මාණය වීමට බොහෝ කාලයකට පෙර,1934 වර්ෂයේ මැයි මස 19 වනදා මෙරට රාජ්‍ය මන්ත්‍රණ සභා සමයේ බණ්ඩාරනායක මහතාගේ ප්‍රධානිත්වයෙන් “සිංහල මහා සභාව” නමින් සංවිධානයක් පිහිටුවා ගත් අතර, 1951 වන විට එය මෙරට සැලකිය යුතු දේශපාලන බලවේගයක් බවට පත්ව තිබූණි, මෙරට ජාතික සමගිය ඇති කිරීමේ අරමුණින් පිහිටුවා ගත් එම සංවිධානය නිදහස් පක්ෂයේ ආරම්භයත් සමග ඒ හා එක් විය.
එලෙස සිදුවූ ආරම්භයත් සමගම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙරට දේශපාලන ගමන තීරණය කළ ප්‍රධානම සාධකය බවට පත් වූ අතර, වසර 71 ක කාලයක් ගත වුවද,මෙරට දේශපාලන ඉතිහාසය තුළ වැඩිම වාර ගණනාවක් ආණ්ඩු බලය හෙබවීමට ශ්‍රී ලංකා පක්ෂයට හෝ එය ප්‍රමුඛ සංධානයකට හැකිවී ඇත්තේ අන් කිසිදු පක්ෂයකටත් වඩා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනතාවාදි පක්ෂයක් වීම හේතුවෙනි.
බණ්ඩාරනායක ශ්‍රීමතානන්ගේ දැක්ම පරිදි මෙරට “පොදු ජන යුගයක්” කරා ගෙන යෑමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හැකියාව ලැබුණු අතර, එමෙන්ම එතෙක් සමාජයේ එක්තරා කොටසකට පමණක් උරුම මාතෘකාවක්ව තිබූ දේශපාලන මෙරට ඈත ගම් දනව් කරා පවා ගෙන යමින් ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදි රාජ්‍යයක් බවට පත් කිරීමට මහඟු මෙහෙවරක් ඉටු කරන ලදී.
මුල් අවධිය හා ඓතිහාසික ජයග්‍රහණ
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිය පළමු සංවත්සරය සැමරීමටත් පෙරම අග්‍රාමාත්‍ය ඩී එස් සේනානායක මහතාගේ හදිසි අභාවය සිදුවූ අතර, ඒ හේතුවෙන් 1952 අප්‍රේල් 8 වනදා පාර්ලිමේන්තුව විසුරුවා හරින්නට කටයුතු කළේය. ඒත් සමගම මහ මැතිවරණයකට දින නියම වූ අතර මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් අපේක්ෂකයන් 48 දෙනෙකු ඉදිරිපත් කර තිබුණි.
එම මැතිවරණය දින හතරක් පුරාවට 1952 වර්ෂයේ මැයි මස 24, 26, 28 සහ 30 යන දිනයන් හිදි පැවැත්වුණු අතර, එහිදි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ඉදිරිපත් කළ අපේක්ෂකයන් 48 දෙනාගෙන්, ආසන 9 ක ජයග්‍රාහකයන් 9 දෙනෙකු විසින් මුළු ඡන්ද තුන් ලක්ෂ තුන් ලක්ෂ හැට එක් දහස් දෙසිය පනහක් (361250) ලබා ජයග්‍රහණය කරන ලදී.
එහිදී බණ්ඩාරනායක මහතා විසින් වැඩි ඡන්ද තිස් දෙදෙහස් පන්සිය හතලිස් හතරක් (32544) ලබා ගනිමින් අත්තනගල්ල ආසනය ජයග්‍රහණය කොට තිබූ අතර, එම සුවිශේෂී ජයග්‍රහණයත් සමගින්, පිහිටුවා වසරක් ගත වන්නටත් මත්තෙන් බණ්ඩාරනායක මහතා විපක්ෂ නායකයා බවට පත් කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙරට පාර්ලිමේන්තුවේ විපක්ෂය බවට පත් විය.
පසුව 1956 මැතිවරණය සඳහා බණ්ඩාරනායක මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් සිංහල භාෂා පෙරමුණ සහ විප්ලවකාරී ලංකා සම සමාජ පක්ෂය හා එකතුව “මහජන එක්සත් පෙරමුණ” නමින් සන්ධානයක් පිහිටුවා ගත් අතර එහිදි කරළියට ආ සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු නම් වූ පංච මහා බලවේගයන් පිළිබඳ සංකල්පය එම මැතිවරණයේ තීරණාත්මකම සාධකය වූවේය.
එමෙන්ම කථිකත්වයේ මනා නිපුණයෙකු වූ බණ්ඩාරනායක ශ්‍රීමතානන්ගේ රැස්වීම් සඳහා ජනතාවගේද අති විශාල සහභාගිත්වයක් තිබුණු අතර “සිංහල භාෂාව මෙරට රාජ්‍ය භාෂාව බවට පත් කිරීම හා ස්වයං පාලනයක් ලබා ගැනීම” වැනි ඡන්ද පොරොන්දු හේතුවෙන් ජනතාව තව තවත් නිදහස් පක්ෂය වෙත ආකර්ෂණය විය.
ඒ අනුව 1956 වර්ෂයේ මැතිවරණයෙන් අති විශාල ජයග්‍රහණයක් ලබා ගනිමින් මෙරට ආණ්ඩු බලය පිහිට වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හැකිවූ අතර, එහිදි පක්ෂය විසින් ඉදිරිපත් කළ අපේක්ෂයන් 60 දෙනාගෙන් 51 දෙනෙකුම සිය ආසන ජයග්‍රහණය කරමින් මෙරට සිව්වන අග්‍රාමාත්‍යවරයා වශයෙන් ශ්‍රීමත් සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක මහතා පත් කරවීමට උර දෙමින් ජනතාවාදි දේශපාලනයක් කරා අලුත් ගමනකට මග පාදා දුන්නේය.
මෙරටට ඩොමීනියන් නිදහස හිමිවූ දිනයේදි ඔහු විසින් සිදු කළ “රටක් දේශපාලන නිදහසින් පමණක් නොව සමාජ හා ආර්ථික නිදහසින් ද පෝෂණය විය යුතුයි” යන ප්‍රකාශය සිය දේශපාලන ගමන තුළ සැබෑවක් කිරීමට හැකි සෑම උත්සාහයක්ම ගත් මෙම නායකයා සිය කෙටි ධූර කාලය තුළ සිංහල භාෂාව මෙරට රාජ්‍ය භාෂාව බවට පත්කිරීම, පුද්ගලික බස් ව්‍යාපාරය ජනසතු කර ලංකා ගමනාගමන මණ්ඩලය පිහිටවීම, වරාය ජනසතු කිරීම කිරීම, සේවක අර්ථසාධක අරමුදල ඇති කිරීම, රාජ්‍ය ව්‍යවසායයෙහි ප්‍රමුඛතාවය පිළිගැනීම , ජාත්‍යන්තර කම්කරු දිනය වූ මැයි 1 වනදා රජයේ නිවාඩු දිනයක් ලෙස නම් කිරීම ,සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් ද්‍රවිඩ භාෂාව විශේෂ විධිවිධාන පනත මගින් ආරක්ෂා කිරීම, ඔවුන්ගේ අයිතිවාසිකම් ලබාදීම, කම්කරු අණ පනත් සංශෝධනය කිරීම, නව රාජ්‍ය සංස්ථා ආරම්භ කිරීම, ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වූ විදේශීය හමුදා කඳවුරු ඉවත් කිරීම, ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ඇති කිරීම මෙන්ම අන්තර්ජාතික දේශපාලනය තුළ නොබැඳි හා මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් ශ්‍රී ලංකාව හා බැඳුණු අන්තර්ජාතික සබඳතා පුළුල් කිරීමට හැකි සෑම උත්සාහයක්ම ගත් අතර, වර්ෂ 1959 හි සැප්තැම්බර් මස 25 වනදා කොළඹ රොස්මීඩ් පෙදෙසෙහි සිය නිවස තුළදී ඝාතනය වන තුරුම සැබෑම ජනතා හිතවාදි දේශපාලනයක නිරත විය.
නිදහස් පක්ෂයේ රන් සළකුණ සමගින් ඉදිරියට ආ ස්වදේශිකවාදය
මෙවර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිය සංවත්සරය සමරණු ලබන්නේ ශ්‍රී ලංකා ඉතිහාසය තුළ මෙරට මුහුණ දුන් දරුණුතම අභියෝගයන් තමා සම්මුඛයෙහි තබාගෙනය. මේ වන විට රටට අවශ්‍ය බොහෝ දේ ආනයනය කිරීමට අපහසු තත්වයකට රට පත්ව ඇති අතර, යම් හෙයකින් මීට දශක කිහිපයකට පෙර සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය විසින් ගෙන ආ ප්‍රතිපත්ති නිසි ආකාරව ක්‍රියාත්මක වූයේ නම් ඇතැම් විට අද අප ආනයන මත නොව අපනයන මත ජීවිකාව කරගෙන යන ජාතියක් වීමට ඉඩ තිබුණි.
1956 ජයග්‍රහණයත් සමග බිහිවූ ජනතාව විසින් “අපේ ආණ්ඩුව” නමින් හැඳින්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ රජය බණ්ඩාරනායක මහතාගේ අභාවය සමග බිඳ වැටුනද නැවතත් 1960 වර්ෂයේ ජූලි මස 21 වන දින ලොව ප්‍රථම අග්‍රාමාත්‍යවරිය බිහිකරමින් සිය බලය තහවුරු කරගන්නා ලදී.
මැතිණියගේ දේශපාලන සම්ප්‍රාප්තිය, බණ්ඩාරනායක මහතාගේ අඩුව පිරවීමට පමණක් නොව ලෝක දේශපාලන ඉතිහාසය තුළ ශ්‍රී ලංකා නාමය ඉතිහාසගත කරවීමටද සමත් වන්නක් වූ අතර, එමෙන්ම කිසිවෙකුත් අපේක්ෂා නොකළ මට්ටමට ඇය සතුව තිබූ පුළුල් දේශපාලන දැක්ම මෙරට ජනතාවගේ සුබ සිද්ධිය සඳහාම හේතු වන්නක් විය.
මැතිණිය බලය ලබා ගන්නා සමය තුළ ලෝක දේශපාලනය තුළ බොහෝ පෙරළිකාර මතවදයන් ඉදිරියට පැමිණ තිබූ අතර, ධනාවාදී හා සමාජවාදි සංකල්ප දෙක අතර ගැටෙන රටවල් දෙස බලමින් “නොබැඳි ප්‍රතිපත්තියක්” අනුගමනය කිරීමට ඇය විසින් ගත් තීරණය අදටත් බොහෝ සෙයින් ප්‍රයෝජන ලබා දෙන දූරදර්ශී තීරණයකි.
නමුත් සිය පළමු ධූර කාලය තුළ මැතිණිය හට බොහෝ අභියෝගයන්ට මුහුණ දීමට සිදු වූ අතර, හමුදා කුමන්ත්‍රණ , රාජාසන කතාව පරාජය වීම වැනි සිදුවීම් හමුවේ 1964 වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සිය බලය අහිමි විය.
එසේ වුවද නැවතත් 1970 වර්ෂයේ පාර්ලිමේන්තුවේ ආසන 168 න් 116 ක් හෙවත් තුනෙන් දෙකක (2/3) බහුතර බලය ලබා ගනිමින් මෙරට ආණ්ඩු බලය ලබා ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය හා ලංකා සමසමාජ පක්ෂය එක්ව ගොඩනැඟුණු “සමගි පෙරමුණ”ට හැකි වූ අතර , දෙවන වරටද අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දුන් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය විසින් මෙරට ජනතාව හට නාමික නිදහස වෙනුවට සැබෑ නිදහසක් ලබා දීමට කටයුතු කළ අතර,ඒ අනුව 1972 වර්ෂයේ මැයි 22 වනදා අලුත් ලොවකට දොරගුළු විවර කරමින් ශ්‍රී ලංකාව ජනරජයක් ලෙස නම් කෙරුණි.
මෙරට දේශපාලන ඉතිහාසය තුළ කාන්තා චරිත කොතෙක් සිටියද සිරිමාවෝ බණ්ඩාරනායක නම් පෞරුෂය, පක්ෂ විපක්ෂ කිසිදු බේදයකින් තොරව අදටත් “මැතිණිය” යන නාමයෙන් හඳුන්වන අතර, සැබෑවටම ඇය තරම් ඒ නාමයට අන් කිසිවෙකුත් සුදුසුද නොවේ.
එදා “සියරට දේ සිරිසැප දේ ” යන සංකල්පය ගෙන එමින් මෙරට ආර්ථිකය ස්වදේශිකත්වය පදනම් කරගනිමින් ස්වයං පෝෂිත තත්වයක් කරා ගෙන යෑමට උත්සාහ ගත් අතර, ඇගේ උපදෙස් හා අනුදැනුම මත එකළ බොහෝ ශ්‍රී ලාංකික සන්නාමයන් හට ලෝක වෙළඳපොළ තුළ විශාල ඉඩක් වෙන්වී තිබිණි.
ඇතැම්විට 1977 වර්ෂයේදි මැතිණියගේ පාලනය බිඳ වැටී ඇයට මුහුණ දීමට සිදුවූ දේවල් සිදු නොවී තිබුණා නම් , අද අප මුහුණ දී සිටින මෙවැනි භයානක අර්බුදකාරි තත්වයක් ඇති නොවීමට බොහෝ ඉඩකඩ තිබුණි, මැතිණියගේ සමයේ අපට පිටුපසින් සිටි බොහෝ රටවල් මේ වන විට අප පසු කරමින් අධික වේගයෙන් සංවර්ධනය කරා ගොස් සිටියදි, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජය බංකොලොත් රටක් ලෙස නම් කරන්නට සිදු වූයේ මැතිණියගේ ප්‍රතිපත්ති හා තීන්දු තීරණයන්හි වටිනාකම පිළිබඳව හරිහැටි අවබෝධකරගැනීම ඇතැමුන්ට නොහැකි වීම නිසාවෙනි.
රට හදන පක්ෂය
1977 මැතිවරණ පරාජය සමගින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බොහෝ ගැටළු වලට මුහුන පෑමට සිදුවූ අතර එමෙන්ම රට තුළ හටගත් විවිධ අර්බුදකාරී තත්වයන් හේතුවෙන් එක් කණ්ඩායමක් විසින් බලය මෙහෙයවීම හේතු කොට ගෙන ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට ජනතාව වෙනුවෙන් පෙනී සිටීමට බොහෝ කැපකිරීම් කිරීමට සිදු විය.
තත්වය එසේ වුවද, චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය හට 1994 වර්ෂයේ අති විශාල ජනතා ප්‍රසාදයක් සමගින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජනාධිපතිනිය ලෙස සිය බලය තහවුරු කර ගැනීමට හැකි වූ අතර, එතනින් ආරම්භ වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විජග්‍රාහි ගමන් මග පුරාවට රාජ්‍ය නායකයින් කිහිප දෙනෙකුම මෙරටට දායාද කළේය.
දෙවරක්ම මෙරට ජනාධිපතිනිය ලෙස පත්වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් දෙවරක්ම ජනාධිපති ලෙස පත් වූ අතර, ඔවුන් දෙදෙනාම සිය පාලන සමයන් තුළ ජනතා ආකර්ෂණ විශාල වශයෙන් ලැබීමට සමත් වූ නායකයන් විය.
මහින්ද රාජපක්ෂ මහතාගෙන් අනතුරුව මෛත්‍රීපාල සිරිසේන මහතා මෙරට ජනාධිපතිවරයා ලෙස පත් වූ අතර, මැතිණියගේ සමයේ පටන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උන්නතිය වෙනුවෙන් කැපවූ ඔහු නියම මහත්මා දේශපාලනයක නියැළුණු යුග පුරුෂයෙක් විය,.
ඔහුගේ යුගය තුළද,මෙරට මත්ද්‍රව්‍ය ප්‍රතිපත්ති සම්බන්ධයෙන් හා පරිසරය සම්බන්ධයෙන් වැදගත් තීන්දු තීරණ රාශියක් ගනු ලැබූ අතර, අති විශාල අභියෝග රාශියක් හමුවේ වුවද ඔහු සෑම විටම ජනතාව වෙනුවෙන් පෙනී සිටි නියම දේශපාලඥයෙකි.
වත්මන් තත්වය හමුවේ වුවද සිය ප්‍රතිපත්ති හා පක්ෂය පාවා නොදුන් ඔහු සෑම විටම ජනතා මතය හා එකඟ කටයුතු කරන අතර, අදටද පක්ෂ නායක්තවය දරමින් ශී ලංකා නිදහස් පක්ෂයේ හා මෙරට මුළු මහත් වූ ජනතාවගේ සුබ සිද්ධිය උදෙසා කටයුතු කරන්නේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හුදෙක් නායකයන් තැනුවා පමණක් නොව, සෑම විටම මෙරට පොදු මහජනතාවගේ බලාපොරොත්තු ඉටු කිරීමට හැකි සෑම උත්සහයක්ම ගත් පක්ෂයක් විය.
ශ්‍රී ලංකාව හමුවේ මේ වන විට ඇති අසීමාන්තික අභියෝග ජයගැනීම වෙනුවෙන් පිඹුරුපත් සකසමින් ජනතාව හට නිදහස් ජීවිතයක් ලබා දීමට උත්සහ දරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කුමන තත්වයක් හමුවේ වුවද සෑම විටම ජනතාව වෙනුවෙන් කටයුතු කිරීම සඳහා අද, හෙට මෙන් අනාගතයේදී ඉදිරියට එනු ඇත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම්
නීතීඥ දයාසිරි ජයසේකර