මවක මෙන් පක්ෂය හා රට රැකගත් – සිරිලක සිරිකත.

එදා මෙන් නොව අද කාන්තාව සතුව ඇති පවුලේ භූමිකාවත්, රටේ භූමිකාවත් පිරිමියාට දෙවැනි නැත. එනිසාම වර්තමානය වන විට රටේ සියලුම ක්ෂේත්‍රවල පාහේ කාන්තා නියෝජනයන් දැකිය හැකිය. එය කම්කරු සේවයේ සිට දේශපාලන , නීතිඥ, වෛද්‍ය, ඉංජිනේරු වැනි වෘත්තීන් දක්වා පුළුල් පරාසයක විහිදී විසිරී පවතී. නමුත් අතීතයේ පැවති තත්ත්වය මීට හාත්පසින්ම වෙනස්ය. 1960ට පෙර අපේ රටේ දේශපාලන ක්ෂේත්‍රය තුළ කාන්තාවන් දැකිය හැකි තත්ත්වයක් තිබුණේම නැත. තිඛුණත් ඒ අතේ ඇගිලි ගණනටත් අඩුවෙනි. නමුත් වර්තමානය වන විට ව්‍යවස්ථාපිත නීති රීති මඟින්ම කාන්තාවන්ට දේශපාලනයට පිවිසීම සඳහා අවකාශය සලසා දී ඇත. තත්ත්වය එසේ වුවද, එදා ලොව ප්‍රථම අග්‍රාමාත්‍යවරිය බිහි වන්නේද මේ පුංචි ශ්‍රී ලංකාව තුළිනි.. තමන්ගේ පවුල පමණක් නොව, කාන්තාවකට මුළු මහත් රටක් වුවද පාලනය කළහැකිබව මුලින්ම ලෝකයාට පෙන්වා දෙනු ලැබුවේ ඇය විසිනි.ඒ අන් කවරෙකුවත් නොව සිරිමාවෝ බණ්ඩාරණායක මැතිනිය විසිනි . එතුමියගේ 21 වැනි ගුණ සමරුව යෙදී ඇති අද දින මේ අසහාය දේශපාලන නායිකාවගේ ගුණ සුවඳ විමසා බැලිය යුත්තේ ඇය අදටත් ශ්‍රී ලංකා සමාජයේත්, ශ්‍රී ලංකා දේශපාලනයේත් පරමාදර්ශී චරිතයක් වන නිසාය.

———————————————-

සිරිමා රත්වත්තේ නමින් වර්ෂ 1916 අප්‍රේල් මස 16 වන දින උඩරට රදළ පවුලක උපත ලැබූ ඇය අධ්‍යාපනය ලැබුවේ කොළඹ පිහිටි රෝමානු කතෝලික පාසලකිනි. ඇගේ පියා Barnes ratwatte වූ අතර මව රොසලින් කුමාරිහාමි නම් විය. මැයට බාල සහෝදරියෙක් හා සහෝදරයන් හතර දෙනෙකුද වූවෝය. දේශපාලනයට පිවිසීම සඳහා වටපිටාව ඇගේ පවුලෙන්ම නිර්මාණය වී තිබුණු එකකි. ඊට හේතුව වූයේ සිරිමාවෝ මහත්මියගේ පියා සෙනට් සභාවේ හා රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සාමාජිකයෙකු වීමය.

දේශපාලන ආගමනය

———————————–

එස්.ඩබ්ලිව් .ආර්.ඩී. බණ්ඩාරනායක මහතා සමඟ විවාහ දිවියට එළඹුන සිරිමාවෝ මහත්මිය 1940 පමණ කාලයේ සිටම සමාජ සුබසාධන කටයුතු වල නිරතව සිටියාය.එතුමියගේ ආදරණීය සැමියා වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ එස්.ඩබ්ලිව් .ආර්.ඩී බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ය. 1956 වසරේදී ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස තේරීපත්වූයේද එතුමන්ය. වසර 70ක දීර්ග ඉතිහාසයක් ඇති ,අදටත් ශ්‍රීලංකා දේශපාලනයේ ඉහළින්ම වැජඹෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙත කිසිදා නොබිඳෙන ශක්තිමත් අත්තිවාරමක් දමා දුන්නේද එතුමාය. නමුත් 1959 වසරේදී පිරිසක් විසින් සිදු කළ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් වශයෙන් එතුමන්ට අකාලයේ මියදෙන්නට සිදුවිය. කිසිවෙකු බ⁣ලාපොරොත්තු නොවූ මොහොතක සිදුවූ මේ අවාසනාවන්ත සිදුවීමත් සමඟ පක්ෂයේ නායකත්වය සඳහා බරපතල ප්‍රශ්නයක් නිර්මාණය විය. පක්ෂ සාමාජිකයින් විසින් තම පක්ෂයේ නායකත්වයට පැමිණෙන ලෙස සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට ආරාධනා කරනු ලැබුවේ එවන් පසුබිමක් යටතේය. තම සැමියාටත්, එතුමන් විසින් ගොඩනැගු පක්ෂයටත්, රටටත් දැඩිලෙස ආදරය කළ ඇය ජනතා හදවතට කන් දුන්නාය.අභීත සහ ශක්තිමත් කාන්තාවක් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පණ දෙන්නට එහි නායකත්වය බාර ගත්තාය. එතුමියගේ නායකත්වය යටතේ 1960 වසරේ පැවැත්වූ ඡන්දයෙන් තීරණාත්මක ජයග්‍රහණයක් හිමිකරගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ලෝකයේ ප්‍රථම අගමැතිනිය බිහිකරමින්ද තවත් වාර්තාවක් තැබුවේය.

රට කළ හැටි

———————

තම ස්වාමියා ආරම්භ කර තිබූ සමාජීය ප්‍රතිපත්ති, ආර්ථික ප්‍රතිපත්ති, ජාත්‍යන්තරය සමඟ කටයුතු කිරීමේදී අපක්ෂපාතිත්වය, බෞද්ධ ආගම නගා සිටුවීමේ ප්‍රතිපත්ති, සිංහල භාෂාව හා සංස්කෘතිය නගා සිටුවීමේ ප්‍රතිපත්ති සිරිමාවෝ මැතිණියද එලෙසම ක්‍රියාවට නැගුවාය. එතුමියගේ පාලන කාලය තුළ විවිධ වෙළඳ ව්‍යාපාර රජයට පවරා ගැනීමද සිදුවිය . ලංකාවේ රාජ්‍ය භාෂාව ලෙස සිංහල භාෂාව නම් කිරීම සිදු වූයේද එතුමියගේ පාලන කාලයේදීය.1964 වසරේ පැමිණි ආර්ථික අර්බුදයට පිළියමක් ⁣ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ලංකා සමසමාජ පක්ෂය සමඟ ඒකාබද්ධ වීමද දේශපාලන වශයෙන් සිදුවූ තවත් වැදගත් සිදුවීමකි. මෙලෙස ඒකාබද්ධ වී නිර්මාණය කරගත් පක්ෂය වූයේ ඒකාබද්ධ පෙරමුණයි(united front). කෙසේ නමුත් 1965 වසරේ පැවති මහා මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පරාජය හිමි විය. එසේ වූවා කියා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය පරාජය බාර ගත්තේ නැත.පරාජයට හේතු විමසමින් යළිත් නැගීසිටින්නට ඇය පක්ෂය මෙහෙය වූවාය.ඒ සදහා කාන්තාවක් ලෙස ශක්තිමත් නායකත්වයක්ද ලබා දුන්නාය.පරාජයන් හමුවේ උකටලීවන, ආත්ම විශ්වාසය බිඳ ගනු ලබන ඇතැම් දේශපාලන නායකයන්ටද ඇය විසින් එදා කියා දුන්නේ මහඟු පාඩමකි. ඇගේ නායකත්වය යටතේ 1970 වසරේ පැවති ඡන්දයෙන් නැවත ඒකාබද්ධ පෙරමුණ බලයට පත් වූ අතර ඉන්පසු සිරිමාවෝ මැතිනිය විසින් රැඩිකල්වාදී තීරණ රැසක් ගනු ලැබුවාය. මේ කාලය තුළ සිදුවූ තවත් වැදගත් සිදුවීමක් වනුයේ එතෙක් පැවති සොල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කර ප්‍රථම ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කර ගැනීමය. මේ නිසා ශ්‍රී ලංකාව ස්වෛරී, ස්වාධීන සමූහාණ්ඩුවක් බවටද පත් විය.

පියා සහ මවගේ අඩිපාරේ ගිය දරුවෝ

——————————————–

සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ දරුවන්ද පසුකාලීන දේශපාලනය තුළ වැදගත් චරිත බවට පත් විය. ඇයගේ පුතා වන අනුර බණ්ඩාරණායක මුල් වරට පාර්ලිමේන්තුවට තේරී පත් වූයේ 1977 වසරේදී ය. ඇයගේ දියණියක් වන චන්ද්‍රිකා බණ්ඩාරණායක මහත්මියද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හරහා දේශපාලනයට පිවිසුණාය. 1978 වසරේදී ලංකාවේ ප්‍රසිද්ධ චිත්‍රපට නළුවෙකු වූ විජය කුමාරතුංග සමග එතුමිය විවාහ වූ අතර 1988 වසරේදී විජය කුමාරතුංගගේ මරණයත් සමඟ කුමාරතුංග මහත්මිය නැවත තම මවගේ පක්ෂයට එකතු වූවාය. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ බලය ගිලිහී⁣මෙන් පසු ඒවන විට දීර්ග කාලයක් රට පාලනය කරමින් සිටියේ එක්සත් ජාතික පක්ෂය විසිනි. එක්සත් ජාතික පක්ෂය පරාජය කරන්නට 1994 වසරේදී නැවත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හැකිවූයේ චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියගේ සම්ප්‍රාප්තියත් සමගිනි. ශ්‍රී ලංකාව පාලනය කළ අග්‍රාමාත්‍යවරු දෙදෙනෙකුට දාව ඉපදී දේශපාලනයට පිවිසි චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උන්නතිය වෙනුවෙන් විශාල වැඩ කොටසක් ඉටු කරනු ලැබුවාය.

අදවන් දිනක සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය සිහිපත් කිරීමේ වැදගත්කම

———————————————-

සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ අගය කළ යුතු නායකත්ව ගති ලක්ෂණ බොහොමයක් වෙයි. 1977 වසරේ ඡන්දය පරාද වීමත් සමග ඇය අභියෝග රාශියකට මුහුණ දුන්නාය. එසේම ඇය ප්‍රජාතන්ත්‍රවාදය දැඩි ලෙස අගය කළ කාන්තාවකි. ඒ බව 1962 වසරේ ඉහළ හමුදා නිලධාරීන් විසින් සිදු කළ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණය හා 1971 උද්ගත වූ තරුණ අසහනය මැඩ පැවැත්වීමට සිරිමාවෝ මහත්මිය ක්‍රියා කළ ආකාරයෙන්ම අවබෝධ වේ. ලංකාවේ දේශපාලන පක්ෂ ඒකාබද්ධ කිරීමේ හැකියාව පෙන්වා දුන් එතුමිය ඒකාබද්ධ දේශපාලනයක් සඳහාද මාර්ගය සකස් කර පෙන්වනු ලැබුවාය. මානුෂීය ගතිගුණ වලින් ඉහළ තැනක සිටි සිරිමාවෝ මැතිනිය 2000 වසරේ ඔක්තෝම්බර් මස 10 වන දින මෙලොවින් සමු ගත්තද, ඇයගේ ගුණ සුවඳ සමස්ත ධරණී තලය පුරාම තවමත් විහිදී, විසිරී පවතී.