පුනර්ජනනීය බලශක්තිය ලෝකයේ ප්‍රධාන බලශක්ති ප්‍රභවය බවට වේගයෙන් පත්වෙමින් පවතී, ඒ කාබන් විමෝචක පොසිල ඉන්ධන භාවිතය හේතුවෙන් ඇතිවන ලෝකයට දරාගත නොහැකි පාරිසරික හානි උග්‍ර වීමත් ඉතා ශීඝ්‍රයෙන් පොසිල ඉන්ධන ක්ශය වෙමින් පැවතීමත් හේතුවෙන්.

අතිගරු ජනාධිපතිතුමන්ගේ සංකල්පය මත ක්‍රියාත්මක කෙරෙන 70% ක පුනර්ජනනීය බලශක්ති ඉලක්කය 2030 දී ළඟාකර ගැනීමට රජය මේ වන විට ඉතාමත් වැදගත් තීන්දු තීරණ රැසක් ක්‍රියාත්මක කරමින් පවති.

පුනර්ජනනීය බලශක්ති උත්පාදනය,බෙදා හැරීම,උත්පාදිත විදුලියේ ගුණාත්මක භාවය,අඛණ්ඩ සැපයුම , පුනර්ජනනීය බලශක්තිය ප්‍රවාහනය සදහා යොදා ගැනීම, පුනර්ජනනීය බලශක්තිය වෙත යොමු වීමෙන් ලැබෙන ආර්ථික ප්‍රතිලාභ ජනතාව වෙත නිසි ලෙස ලබා දීම ආදියෙහි ප්‍රාගෝගික සැලැස්ම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද අමාත්‍යාංශය ශ්‍රවණාගාරයේදී ලංකා විදුලි බල මණ්ඩලයත් ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියත් සමග පැවැත්විය.

මෙම අවස්ථාවට විදුලි බල අමාත්‍ය ගරු ගාමිණී ලොකුගේ මැතිතුමන්, අමාත්‍යාංශ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය, රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් හේමන්ත සමරකෝන් මහතා, ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී එම් ආර් රනතුංග මහතා, සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපති රංජිත් සේපාල මහතා, සුනිත්‍ය බලශක්ති අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් සුලක්ශන ජයවර්ධන මහතා ඇතුලු නිලධාරීන් පිරිසක් සහභාගි විය.