පවුල රකින ” දිරිය ළඳුන් ” මොරටුවේදී තිළිණ ලබති.

නව වසරක් උදාවීමට දින කිහිපයක් පමණක් ඉතිරිව තිබියදී , අවුරුද්දේ දින 365 ක කාලය පුරාම තමන්ගේ පවුල වෙනුවෙන් ජීවිතයම කැප කරන කාන්තාවන්ගේ වටිනාකමට තිළිණයක් ලබාදෙනුවස් සංවිධානය කළ අපූරු උත්සවයක් පසුගියදා ( 19 ) මොරටුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේදී පැවැත්වුණි. රටේ පවත්නා කොවිඩ් වසංගත තත්ත්වය තේරුම් ගනිමින් මොරටුවේ ගම් ⁣ප්‍රදේශ 19ක් ආවරණය වන පරිදි කණ්ඩායම් වශයෙන් කාන්තාවන් කැඳවා සෞඛ්‍ය නීති රීති පිළිපදිමින් ඇඳුම් කට්ටල බෙදා දීම සිදුවිය.
” පවුල රකින ඇය සුරකිමු ” යන තේමා පාඨය ඔස්සේ සංවිධානය කළ මෙම උත්සවයේදී කාන්තාවන් දෙදහසකට වටිනා ඇඳුම් කට්ටලයක් ප්‍රදානය කිරීම සිදුවිය.
“තිලංග සුමතිපාල පදනම” විසින් සෑම වසරකම මෙබඳු සමාජ සත්කාරක වැඩසටහනක් රැසක් ක්‍රියාත්මක කරන අතර බොදු දිරිය , රැකියා දිරිය , සිසු දිරිය , ක්‍රීඩා දිරිය , යන වැඩසටහන්ද ඊට ඇතුලත් ය. මෙම වැඩසටහන ක්‍රියාවට නංවනු ලැබුවේ ” කාන්තා දිරිය ” වැඩසටහන යටතේය.මේ සෑම සමාජ සත්කාරක වැඩසටහනක්ම මානව “අවශ්‍යතාවයට සේවය” යන තිලංග සුමතිපාල මහතාගේ සංකල්පයකට අනුව සිදුවේ.
මොරටුව ප්‍රදේශයේ ජීවත්වන කාන්තාවන් දෙදහසකට මෙවැනි වටිනා ඇඳුම් කට්ටලයක් තිළිණයක් ලෙස ලබාදීම පිටුපස කිසිම දේශපාලන අරමුණක් නැතිබව පැවසූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති , හිටපු නියෝජ්‍ය කතානායක, රාජ්‍ය අමාත්‍ය , කොළඹ දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙරටුව දිස්ත්‍රික් සංවිධායක තිලංග සුමතිපාල මහතා කියා සිටියේ රටේ පවත්නා දරුණු ආර්ථික අර්බුදයත් සමග , ඇදුම් පැළඳුමක් පවා මිලදී ගැනීම අනවශ්‍ය වියදමක් ලෙස බොහෝ දෙනා සිතන බැවින් සමස්ත කාන්තාවන්ටම ගෞරවයක් ලෙස ඇඳුම් කට්ටලයක්, තිළිණයක් ලබා දීමට තමන් කල්පනා කළ බවය.පූජ්‍යපාද වෛද්‍යාචාර්ය ගරු මොරටුවේ සද්ධාරංසි නාහිමිපාණන්ගෙන් ඒ සඳහා ලැබුණු දායකත්වය මිල කළ නොහැකි බව පැවසු සුමතිපාල මහතා කිතුණු බැතිමතුන් මහත් භක්තියෙන් හා උත්සවශ්‍රීයෙන් සමරන නත්තලට තෑගි දෙන්න බෞද්ධ භික්ෂුවක් එක්වීම සිංහලයා සතු සාමූහික එකමතුකම , අන් ජාතීන්ට…අන් ආගම්වලට ගරු කිරීම පෙන්වන වටිනා අවස්ථාවක් බවද සඳහන් කළේය.
මෙහිදී පැමිණ සිටි පිරිස අමතා කෙටි අනුශාසනාවක් කළ මොරටුවේ සද්ධාරංසි නාහිමිපාණෝ මෙසේ පැවසුහ.
” මහා මැතිරණයට කලින් මේ මොරටුව පුදේශයේ විවිධ දේශපාලන පක්ෂ කාර්යාල හැට හැත්තෑවක් තිබුනා.ඒත් අද ඒ එකක්වත් නෑ.දිනපු අයත් ඒ පක්ෂ කාර්යාලවල නෑ…පැරදුණු අයත් ඒ පක්ෂ කාර්යාලවල නෑ.ඒ අතින් බපනකොට තිලංග සුමතිපාල කියන්නේ බොරු නොකියපු අවංක මනුස්සයෙක්..එතුමන් එදා වගේම අදත් මොරටු ජනතාවත් සමඟ සිටිනවා.අන්න ඒකයි වටිනාම දේ. අතීතයේදී රටේ ජනතාව අතිනුත් වැරදි උනා.එහි පුතිඵල අපි අද , ඇස් පනාපිට භුක්ති විඳිනවා.ජීවිතයට පාඩම් ඉගෙන ගැනීම ඉතා වැදගත්. අතීත පාඩම් වලින් අපිට අනාගතය හදා ගන්න පුළුවන් . මම විශ්වාස කරනවා ජනතාව නිසි කලට , නිසි වෙලාවට ඉගෙනගත් පාඩම් තුළින් නිවැරදිම පිළිතුර ලබාදෙයි කියලා “
උත්සව සභාවෙන් අනතුරු ව තිලංග සුමතිපාල මහතා මොරටු කාන්තාවන්ගේ පුශ්න වල⁣ට ඇහුම්කන්දීමටත් , ඔවුන් සමඟ පිළිසදරේ යෙදීමටත් අමතක නොකළේය.

* සාර්ථකව නිමාවට පත්වූ “පවුල රකින ඇය සුරකිමු” වැඩසටහනේ සුවිශේෂී ජායාරූප කිහිපයක් පහතින් ඔබට දැකබලා ගත හැකිය.