ජාතික විදුලිබල පද්ධතියට පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගේ සක්‍රීය දායකත්වය වර්ධනය කිරීම වෙනුවෙන් සැලසුම් කළ පාවෙන සූර්ය විදුලි බලාගාර සංකල්පය ක්‍රියාත්මක තලයට ගෙනඒමට සූර්යබල, සුළං සහ ජලවිදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන අමාත්‍යාංශය මේ වනිවට පියවර ගනිමින් සිටී. මහවැලි අධිකාරිය, ලංකා විදුලිබල මණ්ඩලය සහ සුනිත්‍ය බලශක්ති මණ්ඩලයේ සාමූහිකත්වය තුළින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති මෙම නවමු ව්‍යාපෘති සංකල්පය වෙනුවෙන් මහවැලි අධිකාරිය විසින් මේ වනවිට ජලාශයන් 03 ක් ලබාදී තිබේ. රන්දෙනිගල, උඩවලව සහ කලාවැව යන ජලාශයන් මේ වෙනුවෙන් නම් කර ඇති අතර, ලංකා විදුලිබල මණ්ඩලය විසින් ඉදිරි සතිය තුළදී අදාළ ජලාශයන් කේන්ද්‍ර කරගනිමින් ශක්‍යතා අධ්‍යයනයන් සිදුකිරීමට නියමිතය.
මෙහිදී උපරිම ධාරිතාවක් ලබාගත හැකි ජලාශයන් තෝරා ගැනීමට ලංකා විදුලිබල මන්ඩලය විසින් ක්‍රියාකරනු ඇත අතර අවම ධාරිතාවය මෙගාවොට් 100 ක් වියයුතු බවට මේ වනවිට යෝජනා වී තිබේ. මෙම පාවෙන සූර්ය විදුලි බලාගාර ස්ථාපනය කිරීම තුළින් පාරිසරික, ධීවර හෝ වෙනයම් ගැටළු ඇතිවේදැයි සොයා බලන ලෙසත්, එවැනි ගැටළු සහගත තත්ත්වයන් අවම මට්ටමට ගෙන එමින් අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගතයුතු බවත් රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මැතිතුමන් අදාළ අංශ වෙත වැඩිදුරටත් උපදෙස් දී තිබේ.
මෙම සාකච්ඡාවට රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මැතිතුමන් සූර්යබල, සුළං සහ ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන අමාත්‍යාංශ ලේකම් හේමන්ත සමරකෝන් මහතා, විදුලිබල මණ්ඩල සභාපති ඉංජිනේරු විජිත හේරත් මහතා, ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපති රංජිත් සේපාල මහතා, ඇතුළු විදුලිබල අමාත්‍යාංශය, සූර්යබල, සුළං සහ ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන අමාත්‍යාංශය, ලංකා විදුලිබල මණ්ඩලය සහ සුනිත්‍ය බලශක්ති මණ්ඩලය යන ආයතනයන්ගේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රාශියක් සහභාගි වූහ.



