සන්ධ්‍යාභාගයේ අප ඔහුගේ නිවසට යනවිට හිටපු ජනාධිපතිවරයා යම් කාර්යයක නිමග්නව සිටින්නට ඇති බැවින්, ඔහුගේ කාර්ය මණ්ඩලය විසින් ජනාධිපතිවරයාගේ කාර්යාල කාමරය වෙත අප කැඳවාගෙන යනු ලැබීය. විනාඩි කිහිපයක් ගත වන විට මෛත්‍රිපාල සිරිසේන මහතා කාමරයට පැමිණියේ බෑගයක් ද රැගෙනය. එම බෑගය තුළින් ජනාධිපතිවරයා පිළිමයක් රැගෙන සිය පොත් අල්මාරියේ ඉදිරියෙන් තැබුවේය. ”මේක රුසියාවේ ඉඳන් ආපු කෙනෙක් මට දුන්නේ, අවුරුදු පනහක් විතර පරණ පිළිමයක්…’’ සිය අත වූ ලෙනින්ගේ පිළිමය පිළිබඳ විස්තර කියමින්ම, ජනාධිපතිවරයා, අප සමග සාකච්ඡාවට එක් විය.
ප්රශ්නය – පසුගිය දිනයන්හි ඔබ සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පොළොන්නරුවේදී ඉතාම සුහදව රැස්වීම් පවත්වන ආකාරය අපි දුටුවා. එසේ වුවත්, ශ්‍රීලනිපයේ සමහර පිරිස් විසින් ආණ්ඩුවට එරෙහිව දිගටම චෝදනා එල්ල කරනවා. මේ සිදුවීම් දෙස බලන විට, මතුපිටින් ඔබ හා ආණ්ඩුවේ නායකයන් හොඳින් ඉන්න බව පෙන්නුවත්, ඇතුළේ ගින්නක් ඇවිලෙන බව පේනවා නේද…?
පිළිතුර – ශ්රීලනිපය ගැන මොන විදිහේ සමාජ මතයන් තිබුණත්, මේ ආණ්ඩුව සහ ගෝඨාභය ජනාධිපතිතුමා බලයට පත් කරන්න අපේ පක්ෂය විශාල වැඩ කොටසක් සිදු කළා. ජනාධිපතිවරණයට පෙර අපි සන්ධාන ගිවිසුම් අත්සන් කළා. එහෙම ගිවිසුම් අත්සන් කළ ගමන්ම, මහින්ද රාජපක්ෂ මහත්මයා සහ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා රටට ප්‍රකාශ කළේ ”දැන් අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ, අපි ජයග්‍රහණය කරලා ඉවරයි’’ කියලා… ඒ අනුව බලනකොට අද ආණ්ඩුවේ ඉන්න නායකයෝම මේ ජයග්‍රහණය පිළිබඳව අප පක්ෂයේ දායකත්වය, පිළිගන්නවා.
දෙපැත්තේම සමහර දෙවැනි පෙළ, තුන්වෙනි පෙළ අය නොයෙකුත්, විවේචන සිදු කළත්, නායකයන් විදිහට, මේ ආණ්ඩුව හදනකොට, අපි කතාවුණු එකඟතා පිළිබඳව දන්නවා. මේ ආණ්ඩුව හැදුවේ, අපි සියලූදෙනා එකට එකතුවෙලා. මේ කොවිඞ් වසංගතය නිසා, මේ ආණ්ඩුවේ බොහෝ ඉලක්කයන්ට යෑම අපහසු වෙලා තියෙනවා. මේ වගේ වෙලාවක ආණ්ඩුවක් කරගෙන යන එක පහසු කාර්යයක් නෙමෙයි. ඒ නිසා, මේ වගේ ව්‍යසනකාරී අවස්ථාවක, පක්ෂ බේද බල බලා, නායකයා කවුද කිය කියා, ඉන්න අපිට බැහැ. එතැනදී වැදගත් වන්නේ තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රය නෙමෙයි… රටේ න්‍යාය පත්‍රය… අපි කාටවත් මේ වෙලාවේ පක්ෂය ඉදිරියට දමා තීන්දු ගන්න බැහැ. මූලික වශයෙන්ම අපි මේ වෙලාවේ කටයුතු කළ යුත්තේ රට ගොඩගැනීම සඳහායි. ඒ සඳහායි අපි මේ වෙලාවේ අවංකව කටයුතු කරන්නේ. ඒ නිසා, අපි මේ වෙලාවේ ඉතාම මිත්‍රශීලි ලෙස කටයුතු කරගෙන යනවා.
ප්රශ්නය – ශ්‍රීලනිප ලේකම් දයාසිරි ජයසේකර මහතා නිතරම සඳහන් කරන්නේ, පොදුජන පෙරමුණ පාර්ශ්වයෙන්, ශ්‍රීලනිපයට යම් අසාධාරණයක් සිදුව ඇති බවයි…
පිළිතුර – ඔව්… එහෙම ප්‍රශ්නයක් තියෙනවා, අපිට සැලකිල්ලේ අඩුවක් තියෙනවා. ඒක බොරුවක් නෙමෙයි. අපි අත්සන් කරන ලද
ගිවිසුම්වල ආකාරයට කිසිවක් සිද්ධවෙලා නැහැ. එහෙම වුණත්, මේ වෙලාවේ අපි ඒ ගැන කතා කරන්න යන්නේ නැහැ. දැන් අවශ්‍ය මේ වසංගත තත්ත්වයෙන් රට ගොඩගන්නේ කොහොමද කියන එකයි.
ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගේ පාර්ශ්වයෙන් අපි එහෙම ගැටලූ දකින්නේ නැහැ. ඊට පරිබාහිර පාර්ශ්වයන්ගෙන් තමයි, අපිට ඔය නොසැලකිල්ල තියෙන්නේ…
ප්රශ්නය – ඔබ ඔය සඳහන් කරන්නේ, බැසිල් රාජපක්ෂ මහතා පිළිබඳවද…?
පිළිතුර – එහෙම මම කාගෙවත් නම් සඳහන් කරන්නේ නැහැ. එහෙම වුණත්, ඕනෑම කෙනෙකුට බැලූ බැල්මට ඒ ඇතිවූ තත්ත්වය කුමක්ද කියා තේරෙනවා. ඔය සන්ධානය හැදුනේ කොහොමද, අපි මුලින් ඇති කරගත්ත එකඟතාවන් මොනවාද කියන එක දන්නේ, මමත්, ගෝඨාභය රාජපක්ෂ මහත්මයාත්, මහින්ද රාජපක්ෂ මහත්මයාත්, බැසිල් රාජපක්ෂ මහත්මයාත් කියන හතර දෙනා. එහි මුල් බීජයේ ඉඳන්, එකඟතා ගැන අනිත් අය දන්නේ නැහැ. ඒවා දන්නේ අපි හතර දෙනා විතරයි. අනිත් අය දන්නේ නැහැ. ඒ නිසා ඇතිවෙන තත්ත්වයන් වලදී, අපි මූලිකත්වය දෙන්නේ රට සහ මහජනයා පිළිබඳවයි. අපි ආණ්ඩුවක් හැදුවා. ඒ ආණ්ඩුව තුළ රට සහ ජනතාව ගැන හිතලා, අපි අනිත් ප්‍රශ්න අමතක කරනවා. ඔබ අහන ඔය ප්‍රශ්න, සමාජයෙන් මතුවෙන්නේ සහ රජයට චෝදනාවක් එන්නේ, මොකද…? මේකදී හොඳ විසඳුමක් ආණ්ඩුවේ නායකයන්ට තියෙනවා. ආණ්ඩුවේ නායකයන්ට සහ මේ රජය බලයට ගේන්න වැඩ කරපු අනෙක් පක්ෂ සමග සංවාදයක් පැවැත්වීම අත්‍යාවශ්‍යයි. ඔය වැඬේ පාර්ලිමේන්තුවේ කරන්න බැහැ. පාර්ලිමේන්තුවේ ස්වභාවය ඊට වඩා වෙනස්. ඒ සඳහා මාස දෙකකට පමණ වරක්, මේ රජය බලයට පත්කරන්න වැඩ කරපු පක්ෂ සහ කණ්ඩායම් සමග රජයේ නායකයන් සංවාදයක්, සාකච්ඡාවක් තියෙනවා නම් ඔය චෝදනාව රජයට එන්නේ නැහැ. මේ වෙලාවේ ඒ වගේ දේශපාලන කාරණා අරගෙන ළඟ බලන එක නෙමෙයි අපි කරන්න ඕනේ, රට ගැන හිතලා දුර බලන එක….
ප්රශ්නය – ආණ්ඩුව දිගින් දිගටම ශ්රීලනිපය නොසලකා හරිනවා නම් දුර බලලා, ගත හැකි තීරණයක් ඔබට තිබෙනවා. සජිත් පේ‍්‍රමදාස කියන්නේ ඔබට සමීප චරිතයක්… සජිත් පේ‍්‍රමදාස මහතා විසින්ම සඳහන් කළ පරිදි ඔබ විසින් අගමැති තනතුර සඳහා කිහිප විටක් ඔහුට ආරාධනා කර තිබෙනවා. එවැනි ස්ථාවරයක් කරා යෑමට තවම වේලාසන වැඩිද…?
පිළිතුර – එවැනි විකල්ප අපිට අවශ්‍ය වන්නේ නැහැ. එහෙම බලාපොරොත්තුවක් අපේ නැහැ. සජිත් පේ‍්‍රමදාස මහත්මයලා සමග එකතුවීමක් ගැන අපි හිතන්නෙවත් නැහැ. ඒක මම පැහැදිලිවම කියනවා. ශ්රීලනිපය ජාතික බලවේගයක් විදිහට, නව ප්රවණතාවන් තුළ කටයුතු කරනවා. ශ්රීලනිපය හැමවිටම බලන්නේ, වාම ප්රගතිශීලි ස්ථාවරය පිළිබඳවයි. සමාජ ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කරන්නේ කොහොමද කියන එකයි. මම විසිවෙනි සංශෝධනයට ඡන්දය දුන්නේ නැති කෙනෙක්නෙ… මම මගේ දේශපාලන ජීවිතය පුරා, මම මූලික වශයෙන් අගය කරන්නෙත්, පිළිගන්නෙත් සමාජ ප්රජාතන්ත්රවාදය. එවැනි සමාජයක ආගමික, ජාතික සහ භාෂාමය නිදහස, මාධ්‍ය නිදහස, ප්රජාතන්ත්රවාදය, සෑම කෙනෙකුටම ලැබිය යුතු වෙනවා. අපි තේරුම් ගත යුත්තේ, මේ සමාජ ප්රජාතන්ත්රවාදය තුළ ජාතින් අතර සහයෝගය ගොඩනැගෙන්නේ කෙසේද කියන කාරණාව. ඒ ජාතින් අතර සහයෝගය ගොඩ නැගීම කියන කාරණාව පැත්තෙන් බැලූවත්, යාපනය විශ්වවිද්‍යාලයේ තියෙන ස්මාරකය කඩපු එක දිහා බලන්න. ඒවා ඉතා අමනෝඥ ක්‍රියා… නිදාගෙන ඉන්න කොටි ඇහැරෙව්වා වගේ කරන ඔවැනි ක්‍රියා, ජාතික මෙන්ම ජාත්‍යන්තර වශයෙන් සතුරන්ට ආයුධ සැපයීම් වෙනවා. යුද්ධය ඉවරවෙලා දැන් වසර දොළහක් පමණ වෙනවා. එසේ වුණත් එල්ටීටීඊ බීජය රටින් පිට තවම තියෙනවා. ඒ අය අද හොඳටම බංකොලොත් වෙලා. ඒ අයට නැගිටින්න මෙවැනි දේවල් වැදගත් වෙනවා. ඒ වගේ දේවල් අපි කළ යුතු නැහැ. ශ්‍රීලනිපයට තියන්නේ පුද්ගල වන්දනාවක් නෙමෙයි. ප්රජාතන්ත්රවාදී සමාජයක් සඳහා තමයි අපි කැපවෙන්නේ. ඒ මිසක් ඔය, ඔබ කියන ආකාරයට එක්කෙනෙක් පස්සේ යන්න අපිට ඕනේ නැහැ. අද වෙනකොට විවිධ බලවේග, විවිධ සංවිධාන මේ වෙලාවේ ගොඩනැගෙමින් තිබෙනවා. අද දේශපාලන පසුබිම සංකීර්ණයි. සරල ස්වභාවයක නැහැ. එවැනි පරිසරයක අපි සාමුහිකත්වය සහ පොදු බව අගය කරනවා. ඒ නිසා ශ්‍රීලනිපයට අනාගතයක් තියෙන බව පැහැදිලිව කියන්න පුළුවන්. අපි සැමවිටම මේ රජය සමග සහයෝගයෙන් කටයුතු කරනවා.
mithree2මේ රජය හැදුවේ අපි… මේ ජනාධිපතිවරණය දිනන්න වැඩිම ශක්තිය වුණේ, ශ්රීලනිපය. ඒක කාටවත් නැහැ කියන්න බැහැ. ඒක සුළුකොට තකන්න, ඇගයීම අඩු කරන්න බැහැ. ජනාධිපති ඡන්දයට තව අවුරුදු තුනහමාරක්, හතරක් තියෙනවා… ඒ තියෙද්දී අපිට කනින් කොනින් ජනාධිපති අපේක්ෂකයෝ ගැන කතා ඇහෙනවානේ… අද දවසේ අපි කළ යුත්තේ ඊළඟ අපේක්ෂකයෝ ගැන කතා කරන එක නෙවෙයි. මේ තියෙන තත්ත්වයෙන් රට ගොඩගැනීම සඳහා සූදානම් වීමයි, කියන එකයි මගේ අදහස. ආණ්ඩු හැදීම, ආණ්ඩු පෙරළීම වෙනම දෙයක්… මේ වසංගත තත්ත්වයත් එක්ක, එන අලූත් ප්‍රශ්න ගැටලූ සඳහා විසඳුම් සොයමින් අපි ගමන් කළ යුතු බවයි මගේ අදහස.
ප්රශ්නය – ඔබ වෙත ලිපියක් එවමින් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය විසින් ශ්‍රීලනිපක්ෂයේ නායකත්වය සඳහා ඡන්දයක් තබන ලෙස සඳහන් කරමින් දෝෂාරෝපණ ගණනාවක් ඉදිරිපත් කරනවා. ඒ සඳහා ඔබ තවම පිළිතුරක් ලබා දුන්නේ නැහැ…
පිළිතුර – ප්‍රතිචාරයක් දැක්වීමට තරම් වැදගත් ලිපියක් නෙමෙයි ඒක මට.
ප්රශ්නය – ආණ්ඩුව පිළිබඳව ඔබට යම් විවේචනයක් තිබෙනවා සේම, එය රැක ගත යුතුයි කියන ස්ථාවරයේ ඔබ ඉන්නවා. මේ ස්ථාවරය සඳහා ඔබව කවුරු විසින් හෝ හිරකර තිබෙනවා ද…? විශේෂයෙන්ම පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බලන කොමිසම හේතුවෙන් ඔබ හිරවෙලා ද…?
පිළිතුර – අධිකරණ කේෂ්ත්‍රයේ කටයුතු පිළිබඳව අපි බලාගෙන ඉන්නවා. ඒ මිසක ඒවා දේශපාලනය සමග අපි පටලවා ගන්නේ නැහැ.
ප්රශ්නය – විපක්ෂයේ ප්‍රධාන තේමාව වී තිබෙන්නේ ‘සර් ෆේල්’ යන්නයි. ඔබගේ අනුප්‍රාප්තික ජනාධිපතිවරයාගේ ධුර කාලයෙන් වසරකට මඳක් වැඩි කාලයක් දැන් ගතවී තිබෙනවා. ඔබගේ මිනුම් දඬු අනුව සර් ෆේල්ද…?.
පිළිතුර – සර් ෆේල් කියන එක විපක්ෂයේ වචනයක්නේ… ඒක විපක්ෂයේ භූමිකාවනේ… ප්රජාතන්ත්රවාදී රටක විපක්ෂයේ කර්යභාර්ය පිළිබඳව අපි දන්නවනේ… ඔය වගේ දේවල් අපි ඊට වඩා ගණන් ගන්න ඕනේ නැහැ. අපි මෙහෙම හිතමුකෝ… මේ වගේ වසංගත තත්ත්වයක් යටතේ ඔය පුටුවේ මම හිටියා කියලා හිතමුකෝ… ඒත් තත්ත්වය ඕකම තමයි. කොවිඞ් තත්ත්වය තුළ ඇතිවෙන විවේචනය ඔය විදිහටම තියෙයි.
ප්රශ්නය – ඔබගේ ආණ්ඩුවේ අගමැති විදිහට කටයුතු කරපු රනිල් වික්‍රමසිංහ මහත්මයා එහෙම පසුගිය දිනවල හමුවුණේ නැද්ද…?
පිළිතුර – ඔය මඟුල් ගෙවල් වලදී එහෙම හම්බු වුණා.
ප්රශ්නය – ජනාධිපති තනතුරෙන් ඔබ නික්ම ගොස් දැන් වසරකට වැඩි කාලයක් ගතවෙලා තියෙනවා. ඔබ දේශපාලනයෙනුත් නික්ම ගොස් තිබෙනවා සේ පෙනෙනවා.
පිළිතුර – මට නැවත ලබාගත යුතු දෙයක් නැහැනේ. මම රටේ ජනාධිපති වුණානේ… දැන් මට තනතුරු හඹා යන්න අවශ්‍ය නැහැ. මගේ අත්දැකීම් සහ මට දැනෙන දේ සමග රට කරගෙන යෑම සඳහා සාමුහික ප්රයත්නයක් සඳහා දායකවීමයි දැන් මගේ අරමුණ. ශ්රීලනිපය විදිහට අපි ඒ සඳහා නායකත්වය ලබාදෙනවා. මම දැන් මම ගැන හිතන්නේ නැහැ. මම මාර්ග පල ලබලා නැහැ. ජනාධිපතිධුරයේ මම ලබපු අත්දැකීම් සහ කොවිඞ් වසංගත තත්ත්වය සමග බලන විට, අපි පටු දේශපාලන අදහස් වලට යන්න හොඳ නැහැ. අපි හැමෝම දන්නවානේ, මේ රට දැන් තියෙන තැන කොතැනද කියලා. ඒ තත්ත්වයෙන් රට ගොඩනැගීම සඳහා මගේ දායකත්වය මම ලබා දෙනවා.
ප්රශ්නය – ඒ කියන්නේ දැන් ඔබේ කාලය ගතවන්නේ විවේකය ගත කිරීම සඳහා බවද…?
පිළිතුර – රට සහ ජනතාව තමයි මගේ අංක එක. ඒ සඳහා මගේ කැපවීම එසේම තිබෙනවා. මම පාර්ලිමේන්තු යනවා. පක්ෂයේ සභාපති විදිහට, පක්ෂයේ අනාගතය පිළිබඳව මගේ වගකීමක් තිබෙනවා. අපේ පක්ෂයේ මහජන නියෝජිතයන් සමග පක්ෂ ක්‍රියාකාරකම් හි යෙදෙනවා. දේශපාලන කටයුතු වලට මම කිසිම විරාමයක් දීලා නැහැ. ඒ වගේම මම අධ්‍යාත්මික කටයුතු සඳහා මම වැඩි කාලයක් යොදවනවා. මේක විවේකයක් විදිහට මම සලකන්නේ නැහැ. අපි දන්න යමක්, මේ රට වෙනුවෙන් කළ යුතු නම් ඒ දේ, මම ඉටු කරනවා. ඊයේ වගේම අද දවසත්, හෙට දවසෙත්, අපි රට වෙනුවෙන් අවදියෙන් ඉන්නවා. ඒ නිසා මට ඔය කියනවා වගේ විවේකයක් නැහැ.
ප්රශ්නය – රෝයල් පාක් මිනීමැරුම ලෙස ප්‍රසිද්ධියට පත්ව ඇති නඩුවේ විත්තිකරු වන ජූඞ් ශ්රමන්ත ඇන්තනි ජයමහට ජනාධිපති සමාව ලබාදීම සම්බන්ධයෙන් ඔබට එරෙහිව දිගින් දිගටම චෝදනා එල්ල වුණා. ඒ සම්බන්ධයෙන් ඔබ වෙත අදාළ පාර්ශ්ව වෙතින් අල්ලස් මුදල් ලබාදුන් බව පවා ප්‍රකාශ වුණා. ජූඞ් ශ්රමන්ත ඇන්තනි වෙත ඔබ ලබාදුන් සමාව සම්බන්ධයෙන් ඔබට එරෙහිව අධිකරණයේ චෝදනාවක් මේ වන විට ගොනුවී තිබෙනවා. මේ සමාව ලබා දීම සඳහා ඔබ කටයුතු කළේ ඇයි යන්න සමාජයට තවමත් ප්‍රශ්නයක්…
පිළිතුර – මගේ නිල කාලය ගත්තහම හිරේ ඉන්න මිනිස්සු මම තරම් නිදහස් කරපු ජනාධිපති කෙනෙක් නෑ. මට දේශපාලන දර්ශනයක් වගේම මට මානුෂීය දර්ශනයක් තියෙනවා. මම මිනිස්සු ගැන බලන ක්‍රමයක් තියෙනව. ප්‍රධාන වශයෙන්ම අද දියුණු සංවර්ධන ලෝකේ කොහොමද හිරකාරයෝ ගැන මිනිස්සු බලන්නේ වෙනස් විදිහකට. වැලිකඩ හිරගෙදර බිත්තියෙ ලියල තියෙන්නෙ සිරකරුවෝද මනුෂ්‍යයෝය කියලා ඒකනෙ. මගේ නිල කාලය තුළ මම දෙදහකට වැඩිය හිරේ ඉන්න අයව නිදහස් කෙරුවා. කිසිම ජනාධිපති කෙනෙක් එච්චර නිදහස් කරලා නෑ. ජනාධිපති විදිහට, මම හිරගෙවල්වලට ගියා. ඒ මිනිස්සු අපරාධකාරයෝ බව ඇත්ත. හැබැයි ඒ ගොල්ලන්ගෙ ජීවිත ගත කරන හැටි මම දැක්කා. එතකොට ඒ තත්ත්වය දැකලා තමයි විශේෂයෙන්ම සාමාන්‍යයෙන් සුළු දඬුවම් තියෙන අය නිදහස් කළේ. මම කුඩුකාරයායෝ නිදහස් කෙරුවෙ නෑ, ස්ත්‍රී දූෂකයෝ නිදහස් කෙරුවෙ නෑ. ප්‍රතිපත්තියක් විදිහට මම මිනීමරුවො කියලා විශේෂයෙන් නිදහස් කෙරුවෙ නෑ. රෝයල් පාර්ක් ජූඞ්, මම නිදහස් කරනකොට මරණීය දණ්ඩනය තියෙන එක්කෙනෙක් නෙමෙයි… ඒක බොහොම පැහැදිලිවම තේරුම් ගන්න. එයාගේ මරණීය දණ්ඩනය ඉවත් කරලයි තිබ්බේ.
මම නිදහස් කළේ හිරකාරයෙක් මිසක්, මරණීය දණ්ඩනය නියම වෙච්ච කෙනෙක් නෙමෙයි. එයාගෙ මරණීය දණ්ඩනය ඉවත් කරලා තියෙන්නේ අධිකරණ අමාත්‍යාංශයේ නීති රීති යටතේ. මම එයාව නිදහස් කරනකොට, එයා හිරේ අවුරුදු පහළොවක් ඉඳලා තියෙනවා. එයා අවුරුදු දහයක් හිරගෙදර, ඉතාම යහපත් කල්ක්‍රියාවෙන් ඉඳලා තියෙනවා. ඒ උඩ අධිකරණ අමාත්‍යාංශය විසින් බන්ධනාගාර නීති රීති යටතේ, මරණීය දණ්ඩනයෙන් එයාව නිදහස් කරලා තියෙනවා. ඒවා මම නෙමේ කෙරුවෙ. රෝයල් පාර්ක් සිද්ධිය ගැන විශේෂයෙන් හොයා බලන්න මට කිසිම වුවමනාවක් තිබුණේ නැහැ. අතුරලියේ රතන හාමුදුරුවෝ තමයි මේ ඉල්ලීමක් කළේ. රතන හාමුදුරුවෝ ඔය නිදහස් කරපු ජූඞ්ගේ අම්මා, තාත්තා, දුව සමග මගේ ගෙදරට ආවා. ‘මේ ළමයා හිරගෙදර බොහොම විනයක් ඇතුව, බොහොම ශීලාචාරව ජීවත්වන කෙනෙක්…, දැන් අවුරුදු පහළොවක් හිරේ ඉඳලා තියෙනවා… මෙයා හිරේ ඉඳලා බාහිර උපාධිය සමත් වෙලා තියනවා. බාහිර උපාධිය සමත් වෙලා ආචාර්ය උපාධියටත් රෙජිස්ටර් වෙලා පාඩම් කරනවා. අනේ ඔහුව නිදහස් කරන්න…’ කියලා රතන හාමුදුරුවෝ මට කිව්වා. බද්දේගම සමිත හාමුදුරුවෝ, ඊළඟට ශ්‍රේෂ්ඨාධිකරණයේ විශ්‍රාමික විනිශ්චයකාරවරයෙක්, කතෝලික පියතුමාලා, ඊළඟට විවිධ සංවිධාන මෙහෙම රාශියකින් මට ඔහු නිදහස් කරන්න කියලා ඉල්ලීම් ආවා. රතන හාමුදුරුවොත් අත්සන් කරලා මට ලිපියක් ගෙනත් දුන්නා. මෙහෙම ඉල්ලීම් කරන කොට, ඇත්තටම අවංකවම මම මේ ගැන කල්පනා කෙරුවා. ඔහු මරණීය දණ්ඩනයෙන් නිදහස දීපු කෙනෙක්. මෙයා බාහිර උපාධි සමත්වෙලා තියෙනවා. ආචාර්ය උපාධියට පාඩම් කරනවා. ඒක නිසා මෙයාගේ අරමුණු යහපත් අරමුණ කියලා මට පෙනී ගියා.
ඇත්තටම දැන් ඔය විවේචන කරන්නේ ඒ කියන්නේ ඔහු නිදහස් කරපු එකනේ, මම ජනාධිපති වශයෙන් ඉන්න කාලේ හිරගෙදර තවත් හිරකාරයෝ හිටියනං යහපත් කල් කි‍්‍රයාවෙන් කටයුතු කරන, හිර ගෙදර ඉඳන් උපාධිය සමත් වෙච්ච අය, මං නිදහස් කරනවා. රතන හාමුදුරුවන්ගෙන් ආපු දැඩි ඉල්ලීම සමග විශාල පිරිසකගේ ඉල්ලීම් ද මේ ගැන මට ආවා.
ඒ කාලේ අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්, හිටපු බන්ධනාගාර කොමසාරිස්, ශේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරු, අපරාධ විද්‍යාව පිළිබඳ මහාචාර්යවරු, මෙන්න මේ වගේ පැනල් එකක්, නිර්දේශ කරලා තිබුණා, මෙයාගේ යහපත් කල්කි‍්‍රයාව නිසා මෙයාට සමාවත් දීම සුදුසුයි කියලා. ඔය ලිපි ටික ඔක්කොම මා ගාව තියෙනවා. මට සල්ලි හම්බ කරන්න ඕන නම්, ඔය මනුස්සයෙක් නිදහස් කරලා සල්ලි ගන්න ඕනේ නෑනේ… මම සල්ලි පස්සෙ ගියපු මිනිහෙක් නෙවෙයි. හිරකාරයෝ නිදහස් කරල මට රත්තරන්, මුතු, මැණික් ගන්න වුවමනාවක් නැහැ. ඇත්තටම මම ඔහු විතරක් නෙමෙයි විශාල පිරිසක් නිදහස් කරලා තියෙනවා. මට මෙයාව නිදහස් කරන්න වුවමනාවකුත් නෑ. රතන හාමුදුරුවෝ ඇතුළු විශාල පිරිසකගෙන් ආපු බලපෑම සහ හිරගෙදර ඉඳලා උපාධියක් ගත්ත නිසා තමයි, මම මේ ගැන හිතුවේ. හැබැයි මට මේ ගැන චෝදනා එල්ල කරන කොට උන්වහන්සේ කතාවත් කළේ නැහැ. මම ඒ ගැන කනගාටු වෙනවා.
මම මේකෙන් පාගාවක් ගහලා කියලත් සමහරු කියලා තිබ්බා. මට සිරකාරයෙක් නිදහස් කරලා සල්ලි හම්බ කරන්න වුමනාවක් නැහැ. ඒ වගේ පහත් තත්ත්වයකට මම ඇද වැටෙන්නේ නැහැ. මේ චෝදනා එනකොට මම රතන හාමුදුරුවන්ට කතා කළා. මේ ගැන මට කියපු ඔබ වහන්සේ උත්තර දෙන්න කියන්න. උන්වහන්සේ ටෙලිෆෝන් එකට ආවෙත් නැහැ. මම උන් වහන්සේව හොයලා, මට කෝල් එකක් ගන්න කෙනෙක් යැව්වම ” ඕවා ගැන කතා කරලා වැඩක් නැහැ. ඕවා තව ටික කාලයකින් මිනිස්සුන්ට අමතක වෙලා යයි.’’ කියලා උන්වහන්සේ මග ඇරියා. අඩුම ගානේ මේ ගැන මාධ්‍ය නිවේදනයක් හෝ උන්වහන්සේට නිකුත් කිරීමේ යුතුකමක් තිබුණා.
ප්රශ්නය – ඔබගේ පාලන කාලයේදී ආරම්භ වූ කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය විකිණීමේ ව්‍යාපෘතියට දැන් මේ ආණ්ඩුවට කර ගහන්න වෙලා. ඒ ගැන ඔබේ අදහස කුමක්ද…?
පිළිතුර – ඔය ගැන මට දිග කතාවක් තියෙනවා. මම ජනාධිපති කාලේ, ඔය ගැන ඉන්දියාවෙන් සහ ජපානයෙන් මට නිතර නිතර කතා කළා. ඒ හැම වෙලාවේම මම කිව්වේ කොළඹ වරායේ බටහිර පර්යන්තය අලූතෙන් හදන්න තියෙනවා, ඒ සඳහා ඔබගේ ආයෝජන සහ අවධානය යොමු කරන්න කියලයි. ඒ ආණ්ඩුවේ හිටපු අනිත් පාර්ශ්වය, වරාය විකිණීම සඳහා ගිවිසුම් පවා අත්සන් කළා. ඒත් මම ඒ සඳහා කිසිදු අවස්ථාවක් ලබා දුන්නේ නැහැ. එදත් අදත් මගේ ස්ථාවරය වන්නේ, වරායේ නැගෙනහිර පර්යන්තය අපේ සම්පතක්… ඒ අයට අවශ්‍ය නම් බටහිර පර්යන්තය හදාගන්න කියන එකයි.