අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ “සෞභාග්‍යයේ දැක්ම” ජාතික ප්‍රතිපත්ති මාලාව අනුව කටයුතු කරමින් 2030 වන විට මෙරට පරිභෝජනය වන විදුලියෙන් 70%ක් පුනර්ජනනීය බලශක්තියෙන් උත්පාදනය කිරීම වත්මන් රජයේ ඉලක්කයයි.

මෙම ඉලක්කය සපුරා ගැනීම පිණිස ආසියානු සංවර්ධන බැංකුවෙන් ලබාගත යුතු සහය පිළිබඳව ආසියානු සංවර්ධන බැංකුවේ දකුණු ආසියානු කලාපයේ අධ්‍යක්ෂ ජනරාල් කෙනෙච් යොකොයමා(Kenich Yokoyama) මහතා, සූර්යබල, සුළං හා ජලවිදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා හා විදුලිබල අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද විදුලිබල අමාත්‍යාංශ පරිශ්‍රයේ දී පැවැත්විණ.

මේ අවස්ථාව සඳහා විදුලිබල අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය, විදුලිබල මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරී එම්.ආර් රණතුංග මහතා, මෙන්ම ආසියානු සංවර්ධණ බැංකුවේ ඉහළ නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ.