page-04

සිරිමා යුගයේ රටේ හැදූ බොහෝ දේඅද එන්නේ නොරටින් – සිරිමාවෝ මැතිනියගේ දේශපාලන ආගමනයේ 60 වැනි වසරය.

May 06 2020
(0) Comments
  • Facebook
  • Twitter

සිරිමා යුගයේ රටේ හැදූ බොහෝ දේඅද එන්නේ නොරටින් – (සිරිමාවෝ මැතිනියගේ දේශපාලන ආගමනයේ 60 වැනි වසර නිමිත්තෙනි)

මෑත යුගයේ කවරදාකවත් නොවූ තරම් දේශීය ආර්ථිකයක අවශ්‍යතාව ගැන කියවෙන කාලයක් පැමිණ තිබේ. එතෙරින් පැමිණෙන දෑ මත යැපීමේ ආදිනව කොවිඩ් විසින් මොනවට දක්වා සිටියදී, මෙරට වැසියෝ විවෘත ආර්ථිකයට මත්තෙන් පිහිටි යුගයේ අභිමානය සිහිකරති. 70-77 යුගයේ දේශී්‍ය කර්මාන්ත ආර්ථිකයක් බිහිකිරීමේ දැක්මෙන් යුතුව ක්‍රියාත්මක වූ එකී වැඩපිළිවෙලෙහි වටිනාකම් පෙර නොවූ විරූ ලෙසින් රටවැසියන්ට දැනෙද්දී, ඒ දැක්ම බිහිකළ නාමයෙන් සිරිමාවෝ රත්වත්ත ඩයස් බණ්ඩාරනායක හෙවත් ‘සිරිමාවෝ මැතිනිය’ මෙරට යළිත් ජීවමානව සිටියි. ලොව පළමු අගමැතිනිය ලෙසින් කිසිදා අන්කිසිවෙක්ට අත්කරගත නොහැකි වාර්තාවක් දරන සිරිමාවෝ මැතිනිය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයට පත්වෙමින් දේශපාලනයට පිවිස අද (06වැනිදා) දිනට හැට වසරක් සපිරෙද්දී එකී දැක්ම, එම වැඩපිළිවෙල එහි ප්‍රතිඵල, අතුරුඵල සහ ඒ සමග ඈඳුනු ප්‍රතිවිපාක ගැන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සභාපති රෝහණ ලක්ෂ්මන් පියදාස මහතාගේ අදහස් මෙසේ විය.

සිරිමාවෝ නාමය අද වෙද්දි නැවත කියැවෙන්නෙ කොරෝනා නිසා බිඳ වැටුණු මෙරට ආර්ථිකය දේශීය නිෂ්පාදන ආර්ථිකයක් මත විශ්වාසය තබා ගොඩනැගිය යුතුයි යන සංවාදයත් සමගයි. සිරිමාවෝ පාලන සමයේ මේ දේශීය ආර්ථික දැක්ම ක්‍රියාත්මක වූ ආකාරය නැවත සිහි කළොත්…

සිරිමා ආණ්ඩුව මෙරට දේශපාලන, ආර්ථික සහ සමාජ සංස්කෘතිමය වශයෙන් වැදගත් තීන්දු තීරණ රාශියක් ගනු ලබනව. ඒ වෙද්දි මෙරටට ගෙන්වන, මෙරට නිපදවිය හැකි සියලු දේ පිටරටින් ගෙන්වීම නැවැත්වීමට අවශ්‍ය තීන්දු තීරණ ගත්තා. ඒ වගේම එම භාණ්ඩ මෙරට අමුද්‍රව්‍ය භාවිත කරමින් නිපදවීමට අවශ්‍යවන කර්මාන්ත ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළා. රබර් වගාව භාවිත කරමින් මෙරටට අවශ්‍ය ටයර් නිෂ්පාදනය කිරීමට ටයර් කර්මාන්ත ශාලාවක් සෝවියට් සමූහ ආණ්ඩුවත් එක්ක එකතුවෙලා ආරම්භ කළා. වානේ කර්මාන්ත ශාලාව, ලෝහ භාණ්ඩ කර්මාන්ත ශාලාව, පූගොඩ, වේයන්ගොඩ, මත්තේගොඩ, තුල්හිරිය ඇතුළු මහා පරිමාණ රෙදිපිළි කර්මාන්ත ශාලා හා රට පුරා බලවේග පෙහෙ කර්මාන්ත ශාලා පිහිටුවීමට ඇය නායකත්වය දුන්න. මෙරට දේශීය අත්යන්ත්‍ර කර්මාන්තය දියුණු කිරීමට ඇය ගත් දේශපාලන තීන්දු සහ ඇය ක්‍රියාත්මක කළ ප්‍රතිපත්තිය අපේම ආර්ථිකයක් ගොඩනගා ගැනීම වෙනුවෙන් මනා පිටුබලයක් වුණා.

මෙරට නිපදවිය හැකි ආහාර භෝග කෙරෙහි රාජ්‍ය නායිකාව වශයෙන් ඇයගේ විශේෂ අවධානයක් යොමු වුණා. එහිදී මෙරට වැවිය හැකි සියලු භව භෝග වගා කරමින්, ඊට අවශ්‍ය දිරිගැන්වීම් කළා. එය දේශීය නිෂ්පාදන ආර්ථිකයේ සුවිශේෂී කඩඉමක්. වී, තිරිඟු, මිරිස්, ධාන්‍ය නිපදවීමට අවශ්‍ය සියලුම සහනාධාර ලබාදීමට පියවර ගැනීම ප්‍රායෝගිකව එම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට අනුබල සැපයීමක් වුණා. උතුරේ, දකුණේ සියලුදෙනාට එමගින් ආර්ථික ප්‍රතිලාභ ලබාගැනීමට හැකිවුණා.

70 දශකය ආරම්භය වෙද්දි මෙරට කිරි අවශ්‍යතාවෙන් 70%ක් දේශීයව සපයා ගැනීමට අපි සමත්වෙලා තිබුණ. සිරිමා යුගය මෙරට කර්මාන්තය යුගයේ ස්වර්ණමය යුගයක් කියල හැඳින්වුවොත් එය වැරදි නෑ. ඒ කාලයෙ පෞද්ගලික අංශයෙ මෝටර් රථ, ට්‍රැක්ටර්, ස්කූටර් නිෂ්පාදනය මෙරට ආරම්භ කරල තිබුණ. කපු වගා කරල කපුවලින් නූල් අරගෙන රෙදි හදන්න කපු සංස්ථාව ඒ කාලයේ පිහිටුවා තියෙනව.

මෙවැනි දේශීය අර්ථික ක්‍රමයකට යොමුවීමට එකල පැවැති සමාජ, දේශපාලන සාධක මොනවාද?

ප්‍රධානම කාරණාව තමයි ජාත්‍යන්තර වශයෙන් ඇතිවූ තිබුණු ආර්ථික අර්බුදය. ලෝක සහල් වෙළෙඳපොළේ සහල් හිඟයක් ඇතිවුණ. මේකට පිළියමක් වශයෙන් තමයි දේශීය වශයෙන් ආහාර නිෂ්පාදනයට යොමුවුණේ. ඒ වගේම විනිමය සම්පත් තිබුණෙ නෑ. ඒ වටපිටාව තුළ එවක කළ හැකිව තිබූ සාධනීය දේ තමයි දේශීය කෘෂිකර්මාන්තය නංවාලීම හා රටේ නිෂ්පාදන හැකියාව වර්ධනය කිරීම.

රටට හිතකර මෙවැනි ආර්ථික ප්‍රතිපත්තියක් අකාලයේ විනාශ වී ගියේ ඇයි?

අවාසනාවකට ඒ ස්වර්ණමය යුගය අවසන් කළේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව. ලෝක නිදහස් ආර්ථිකයක් තුළ මෙවැනි දේ ගෙන එද්දි යම් යම් සීමා ඒ කාලයේ ඇතිවුණා. උදාහරණයකට හාල් පොල්ල, මිරිස් පොල්ල කියල දැම්මෙ ගොවියගෙ හාල්වලට නිශ්චිත මිලක් දෙන්න. හිතුමතේට හාල් ගෙන්වන එක නවත්වන්න. මේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී යම් යම් දුෂ්කරතා මතුවුණා. එක කාලයක් කිව්ව සතියට දවස් දෙකක් බත් කන්න එපා කියල. එහෙම කිව්වාම මිනිස්සු ඒක වැරදි විදිහට ගත්තෙ. ඒකෙන් මේ රටේ ධාන්‍යවලට හොඳ වෙළෙඳපොළක් ආව. උදාහරණයක් විදිහට දේශීය ආර්ථික ප්‍රතිපත්තිය යටතේ මේ රටට අවශ්‍ය රෙදි පිළි දේශීයව නිපදවා ගැනීමේදී නිපදවූ සරොන් භූමිතෙල් ගඳයි කියල ආර්. ප්‍රේමදාස කිව්ව. රෙදිපිළි නිපදවා ලොකු අත්දැකීමක් නැති නිසා මුල් කාලයේ නිෂ්පාදනය කළ සරොන්වල එහෙම ගඳක් තිබුණ තමයි. නමුත් දෙපාරක් තුන් පාරක් හේදුවට පස්සෙ ඒ ගඳ යනව. නොබැඳි සමුළුව ඒ කාලයෙ ආර්. ප්‍රේමදාස හැඳින්වුවෙ ‘කාපිරි මඟුල’ කියල. එතනට එකතුවුණෙ අපි වගේ සංවර්ධනය වෙමින් පවතින රටවල්නෙ. ඇමරිකාව, එංගලන්තය වැනි ප්‍රභූ සමාජයත් එක්ක නෙමෙයි ඒ සම්මේලනය පැවැත්වුණෙ. මෙවැනි පටු ආකල්ප ඇති මිනිස්සු නිසා තමයි මේව කඩාකප්පල් වුණෙ. ඒත් දැන් හැමෝම කියනවනෙ සිරිමාවොගෙ ආණ්ඩුව තිබුණ නම් හොඳයි කියල.

ඒ වගේම මේ ටිකත් කිව යුතුයි. සිරිමාවෝ මැතිනියගෙ යුගයෙ සුවිශේෂී වැදගත්කමින් යුත් සිදුවීම් ගණනාවක් වුණා. එදා ගත් තීන්දු තීරණ බොහොමයක් ඓතිහාසිකයි. ලංකාව ඒ වෙද්දි යටත්විජිතයෙන් සම්පූර්ණයෙන්ම මිදී සිටියෙ නෑ. මිෂනාරිවරුන් අධ්‍යාපනය ඔවුන්ගෙ අණසකට යටත් කරගෙන සිටියෙ. ඒ මගින් මෙරට යටත්විජිතකරණය තහවුරුකර ගැනීමට නැත්නම් යටත්විජිත මානසිකත්ව තහවුරු කර ගැනීමට ඔවුන්ට අවශ්‍ය ශ්‍රම බළකාය නිර්මාණය කර ගැනීම, උත්සාහ ගනිමින් තමයි හිටියෙ. මේ තත්ත්වය අවබෝධ කරගෙන මෙරට සියලු මිෂනාරි පාසල් රජයට පවරාගැනීම බණ්ඩාරනායක මැතිනියගෙ යුගයේ සිදුවූ සුවිශේෂී කාර්යභාරයක්. 1962 සියලුම පෞද්ගලික හා මිෂනාරි පාසල් රජයට පවරාගනිමින් එක විෂය නිර්දේශයක් යටතේ සමස්ත ශ්‍රී ලංකාවේම දරුවන්ට මව්බසින් ඉගෙන ගැනීමට ඇති අවස්ථාව උදාකරදීමෙන් මෙරට ජාතික අධ්‍යාපනයක අවශ්‍යතාව තහවුරු කිරීමට ඇය සමත්වුණා. ඒ වගේම 1962 ආණ්ඩුව ලාංකීය දේශපාලනයට සුවිශේෂී අත්දැකීමක් එක් කළා. ඒ සමසමාජ, කොමියුනිස්ට් වැනි ප්‍රගතිශීලී පක්ෂ සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැනුම, අවබෝධය, අත්දැකීම් හුවමාරු කර ගැනීමට ආරම්භ කිරීම.

1970 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සමගි පෙරමුණට සහය දුන් බණ්ඩාරනායක මැතිනිය ලාංකීය දේශපාලනයේ සිහිවටනමය යුගය බිහිකිරීමට නායකත්වය දුන්නා. 1964දී නොබැඳි ජාතීන්ගේ නායකත්ව සමුළුවට නායකත්වය දුන්නෙ ඇය. එමගින් තුන්වැනි ලෝකයට නායකත්වය දෙමින් ආසියාව විශේෂයෙන්ම ඉන්දියානු සාගරය සාම කලාපයක් සඳහා වූ යෝජනා ඉදිරිපත් කළා. නොබැඳි ප්‍රවෘත්ති සේවයක වැදගත්කමත් ඇය එතනදී මතු කළා. ඒ සඳහා යෝජනා ඉදිරිපත් කළා. තොරතුරුවල අධිකාරීවාදී, යටත්විජිතවාදී බලපෑමෙන් මිදීමේ අවශ්‍යතාව ප්‍රථම වතාවට සාකච්ඡා වුණේ ඒ සමුළුවේදී.

මෙරට ආර්ථික සම්පත්, සමාජ සම්පත් හැකිතාක් දුරට සාමාන්‍ය ජනතාවට ව්‍යාප්ත කිරීමට ඉඩම් සීමා පනත, නිවාස සීමා පනත, ආදායම් සීමා පනත ගෙන එමින් සමාජ සාධාරණත්වය වෙනුවෙන් ඓතිහාසික පියවර ගැනීම ආරම්භ කරන ලද්දේ සිරිමා පාලන යුගයේ. එමගින් බණ්ඩාරනායක පරම්පරාව සතු විශාල ඉඩම් ප්‍රමාණයක් රජයට පවරා දීමට ඇය කටයුතු කළා. 1977 ප්‍රතිගාමී බලවේග ඇය පරාජයට පත් කළා. ඉන් නොනැවතී සිරිමාවෝ මැතිනියගෙ ප්‍රජා අයිතිවාසිකම් අහිමිකිරීමට එජාපය නායකයන් ක්‍රියා කළ ආකාරය මෙරට දේශපාලන ඉතිහාසයේ අපකීර්තිමත් සිහිවටනයක්.

නැවතත් සිරිමා සමයේ ක්‍රියාත්මක දේශීය ආර්ථික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වියයුතු යැයි පැවසෙනව. අද වෙද්දි මේ ප්‍රතිපත්තිය වඩා ප්‍රායෝගික වන්නේ මොනවගේ කරුණු මතද?

වර්තමානයේදී ලෝකයම නව නිදහස් වෙළෙඳාම, නව ලිබරල්වාදය වෙනුවට ජාතික ආර්ථිකයක සිහින දකිමින් ඉන්නව. ඒ වෙනුවෙන් ලෝකයම අවදිවී ඇති බව පෙනෙනව. කොරෝනා අර්බුදය හමුවේ ගෝලීය නව ලිබරල්වාදයේ අසාර්ථකත්වය පෙන්නුම් කරමින් තියෙනව. බණ්ඩාරනායක මැතිනියගේ දැක්ම වඩාත් ප්‍රායෝගික වෙමින් දේශීය ආර්ථිකයක, දේශීය දැක්මක, දේශීය මගපෙන්වීමක, ජාතික නිෂ්පාදන ක්‍රියාවලියක අවශ්‍යතාව නැවත නැවත ඉස්මතුවෙන්නේ මෙවැනි අවස්ථාවල.

එතනදි අවධානය යොමුවිය යුතු අංශ මොනවාද?

අද මේ වෙද්දි දේශීය කිරිවලින් 30%යි රටේ නිෂ්පාදනය කරන්නෙ. අනෙක් 70% පිටරටින් ගෙන්වනව. සිරිමාවොගෙ කාලයෙ 70%ක් මෙරට නිපදවල පිටරටින් ගෙන්වූයෙ 30%යි. අපි නැවත අපේ කිරි අවශ්‍යතාව දේශීයව සපයා ගත යුතුයි. එහෙම වුණාම දේශීය ගොවියට මිලක් හම්බවෙනව, පශු සම්පත් වර්ධනය වෙනව, රටේ ගොවිපළවල් ඇතිවෙනව. ඒක රාජ්‍ය අංශයේ වෙන්න පුළුවන් පෞද්ගලික අංශයෙ වෙන්න පුළුවන්. අද මේ දේවල් රාජ්‍ය අංශය යටතේම නොවෙයි, පෞද්ගලික අංශය යටතේත් කරන්න පුළුවන්.

නමුත් පෞද්ගලීකරණය පිළිබඳ සමාජ විරෝධයක් තියෙනව…

මෙතනදි වගකිව යුතු පෞද්ගලික අංශයකුයි අපට අවශ්‍ය වෙන්නෙ. රටට හිතැති පෞද්ගලික අංශයකුයි අවශ්‍ය වෙන්නෙ. ඒත් රාජ්‍යයක ජනතාවට බොහොම සංවේදී අංශ පෞද්ගලීකරණය නොකළ යුතුයි. කොරෝනා රෝගය සම්බන්ධයෙන් ඇමරිකාව, එංගලන්තය අසාර්ථක වෙන්න ප්‍රධාන හේතුව තමයි විශේෂයෙන්ම රාජ්‍ය ව්‍යවසායකත්වයෙන් සෞඛ්‍ය අයින් කිරීම. ඒක රක්ෂණයකට දැම්ම. අද රක්ෂණයක් නැත්නම් එංගලන්තයෙ රෝහලකට යන්න බෑ. ඇමරිකාවෙත් එහෙම තමයි. අපේ රටේ නිදහස් සෞඛ්‍යයි, නිදහස් අධ්‍යාපනයයි තියෙන නිසා වෛද්‍යවරු කණ්ඩායමකුත් ඉන්නව, නිදහසේ ඕනෑම රෝහලකට යන්නත් පුළුවන්. මේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙනයා යුතුයි. හැමදේම පෞද්ගලීකරණය කළා නම්, උදාහරණයකට පෞද්ගලික රෝහල් පමණක් මේ මොහොතේ තිබුණා නම් මොකද වෙන්නෙ? අද පෞද්ගලික විශ්වවිද්‍යාල විතරක් තිබුණ නම් මිනිසුන්ට මේ වගේ ආදරය කරන වෛද්‍ය සේවාවක් අපට තියේවිද? නිදහස් අධ්‍යාපනයේ, සෞඛ්‍යයේ ප්‍රතිලාභ විදිහට තමයි කොරෝනා වසංගතය අපට පාලනය කරගන්න පුළුවන් වෙලා තියෙන්නෙ.

සිරිමා සමයේ ක්‍රියාත්මක වූ මොන වගේ කර්මාන්තද අද අපට ආරම්භ කළ හැක්කේ?

සිරිමාවොගෙ ආණ්ඩු කාලයේ අපේ රටට ඕන කෝස්ටික් සෝඩා අපි නිෂ්පාදනය කළා. වතුර පිරිසිදු කරන ක්ලොරීන් අපි නිෂ්පාදනය කළා. දැන් අපි ඒ සේරම ගේන්නෙ පිටරටින්. ඒවා නැවත මේ රටේ නිෂ්පාදනය කිරීම ආරම්භ කළා නම් මෙරට කර්මාන්ත බිහිවෙනව, ඉන් දේශීය ව්‍යාපාරික පන්තියක් බිහිවෙනව. එතකොට රටත් දියුණුවෙනව. අද ලංකාවට අවශ්‍ය මිරිස්වලින් 70%ක් ඉන්දියාවෙන් ගේන්නෙ. 70-77 ආණ්ඩු කාලයෙ මෙරට මිරිස් අවශ්‍යතාව සීයට සීයක්ම සපුරා ගත්තෙ දේශීයව. ලංකාවට අවශ්‍ය එළවළු, පලතුරු පිටරටින් ගෙන්වනව. නමුත් පිටරටින් ගෙන්වන පලතුරුවලට බොහෝ ආදේශක දේශීයව වගා කරන්න පුළුවන්. ඒව පෝෂණීය අතිනුත් ඉහළයි. එහෙම වුණොත් මේ රටේ රැකියා ප්‍රශ්නය, ගොවියන්ට මිලක් පිළිබඳ ප්‍රශ්නය අපිට විසඳගන්න පුළුවන්.

ඒ වගේම අපට අවශ්‍ය හැම රෙදි කෑල්ලම තවම ගේන්නෙ පිටරටින්. හැම පිඟන් භාණ්ඩයම ගේන්නෙ පිටරටින්. අපිට තියෙන මැටි නිධි වලින් මැටි අරගෙන ඒවා පිටරටට යවනව. යවල චීනයෙ හදන පිඟන් භාණ්ඩ ගෙන්ව ගන්නව. අපේ පිඟන් සංස්ථාව ඈවර කරල, වානේ සංස්ථාව ඈවර කරල, ටයර් සංස්ථාව ඈවර කරල, පිටි සංස්ථාව ඈවර කර දැම්ම. මේ වගේ දේශීය නිෂ්පාදන සංස්ථා බොහොමයක් පනතක් ගෙනල්ල අහෝසි කරල දැම්ම. ඇයි බැරි අපිට දේශීය පිඟන් කර්මාන්තය දියුණු කරන්න. ඒවට අවශ්‍ය සහනාධාර, පහසුකම් දීල ඒවා නැවත නංවාලිය යුතුයි.

අද රටේ රැල්ලක් වගේ ක්‍රියාත්මක ගෙවතු වගාව දිරිගැන්වීම කෙරෙහි රජයේ මොන වගේ අවදානයක්ද යොමුවිය යුත්තේ…

ගෙවතු වගා මගින් අපේ රටේ දේශීයව නිපදවිය හැකි දේ පිළිබඳ වෙළෙඳපොළක් නිර්මාණය කර ගත හැකියි. ඒ වගේම මෙරටින් අපනයනය කළ හැකි දේවල් උදාහරණයකට ඉඟුරු වගේ දේවල් කෙරෙහි අවධානය යොමු කරලා අපේ කෘෂිකර්මාන්තය විවිධාංගීකරණයට ලක් කළ යුතුයි. දේශීය කපු නිෂ්පාදනය මගින් දේශීය කපු කර්මාන්තය දියුණු කරන්න පුළුවන්. එහෙම වුණොත් අපට පුළුවන් දිගුකාලිනව මේ ප්‍රශ්නයට විසඳුම් සොයාගන්න.

එතනදි අපට තියෙන වත්මන් අභියෝග මොනවාද?

අද අප රටේ තියෙන්නෙ නිදහස් වෙළෙඳ ආර්ථිකයක්. නමුත් ලෝකයේ මේ නිදහස් වෙළෙඳ ආර්ථිකය අද වෙද්දි අභියෝගයකට ලක්වෙලා තියෙනව. උදාහරණයකට ගිය අවුරුද්දෙ අපේ නිමි ඇඳුම් යවපු රටවල් ඒ සඳහා අපට කළ යුතු ගෙවීම් මේවන තෙක් ගෙවා නෑ. ඒ රටවල් දැඩි ආර්ථික අර්බුදයකට මුහුණපා ඇති නිසා. ඉදිරියේදි අපේ රටේ විනිමය උපයපු තේ, රබර්, පොල්, ඇඟලුම් වගේ කර්මාන්තවලින් ලැබෙන ආදායම නැතිවෙනව. එතනදී විනිමය කඩා වැටෙනව. තෙල්, ඖෂධ වගේ දේවලට විතරයි විනිමය වැය කළ හැකි වෙන්නේ. එනිසා විනිමය ආරක්ෂා කරගන්න අපිට දේශීය ආර්ථිකයකට යන්න වෙනව.


රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස

•සංවාදය – ලක්මාල් බෝගහවත්ත

 

Related Posts

Leave us a comment