අමාත්‍ය නිමල් සිරිපාල මැතිතුමාගේ මුලික මැතිවරණ පොරොන්දුවක් වූ ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයට වෛද්‍ය පීඨයක් ස්ථාපිත කිරීම හා බදුල්ල පළාත් මහ රෝහල ශික්ෂන රෝහලක් බවට පත් කිරීමේ වැඩසටහ‍නේ ප්‍රථම සාර්ථක හමුව

බදුල්ල දිස්ත්‍රික්කයට ගෙන ආ ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයට වෛද්‍ය පීඨයක් ස්ථාපිත කරමින් බදුල්ල පළාත් මහ රෝහල ශික්ෂන රෝහලක් බවට පත් කිරීමේ වැඩසටහ‍නේ ප්‍රථම සාර්ථක හමුව ගරු කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල මැතිතුමා සහ ගරු අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය G.L. පීරිස් මැතිතුමාගේ මුලිකත්වයෙන් පැවැත්විය.
මෑතක දි ස්ථාපිත කරන ලද ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය උසස් අධ්‍යාපනික ගුණාත්මකභාවයක් සහ රැකියා වෙළඳ පල ඉලක්ක කරගත් ,විවිධාංගීකරණය කරන ලද උපාධි පාඨමාලා නිසා එම උපාධිධාරින්ට රැකියා අවස්ථා සපයා ගැනීම අදටත් ගැටළුවක් වී නැතැයි මෙහිදි ප්‍රකාශ විය.
පීඨයේ සායනික කටයුතු සඳහා සියලු පහසුකම්වලින් සමන්විත බදුල්ල රෝහල ද හෙද විදුහල ද ඇත.එසේම පරිවාරයේ ඇති මහියංගන,දියතලාව සහ වැලිමඩ රොහල් ද මෙම සායනික කටයුතුවලට බද්ධකර ගත හැක. බදුල්ල හා මොණරාගල දිස්ත්‍රික්වලින් වසරකට වෛද්‍ය විද්‍යාව හැදෑරීම සඳහා 150 කු පමණ සමත් වන බවත්,ඒ අයට සිය නිවෙස්වල සිටම සිය වෛද්‍ය විද්‍යාව උපාධිය හැදැරීමට මේ තුළින් පහසුව සැලසේ.
මෙහි දි අදහස් දැක් වූ අමාත්‍ය මහචාර්ය G.L. පීරිස් මහතා කියා සිටියේ,ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයට වෛද්‍ය පීඨයක් ලබාදීම සුදුසු බව රජය තීරණය කර ඇති බවත්,මෙරටට අවශ්‍ය වෛද්‍යවරුන් සංඛ්‍යාව බිහි කිරීම සඳහා වෛද්‍ය අධ්‍යාපනය පුළුල් කිරීම අත්‍යවශ්‍ය බවය. වෛද්‍ය පීඨයක් ස්ථාපිත කිරීමේ දි ඊට අවශ්‍ය විද්වත් විශේෂඥයන් අගනුවරින් බැහැර ප්‍රදේශවලට යැවීම දුෂ්කර බවත් ,ඒ නිසා ගතානුගතික පාඨමාලාවලින් බැහැර වූ නව ආකෘතිගත වෛද්‍ය පීඨයක් ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයට අනුබද්ධව පිහිටුවීම ඵලදායි බව මෙම සාකච්ඡාවට එක් වූ වෛද්‍ය පීඨාධිපතිවරු සහ විද්වත්හු පෙන්වා දුන්හ.එහෙයින් ආරම්භයේ දි මෙම පීඨය වෙනත් විශ්ව විද්‍යාලවල වෛද්‍ය පීඨයන්ට අනුබද්ධ වෛද්‍ය පීඨයක් ලෙස පවත්වා ගෙන යාම තුළින් බෙහෝ ගැටළු විසදා ගත හැකි බව අමාත්‍ය G.L. පීරිස් මහතා පැවසීය.ඒ අනුව මේ පිළිබඳව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම සහ සෙසු වෛද්‍ය පීඨයන් අතර පුළුල් සාකච්ඡාවක් පවත්වා මෙම වෛද්‍ය පීඨය ස්ථාපිත කිරීම පිළිබඳ ධනාත්මක පියවර ගැනීමට අදාල යෝජනා මාසයක් ඇතුලත මීලඟ සාකච්ඡාවට ගන්නා ලෙස ද අමාත්‍ය G.L. පීරිස් මහතා උපදෙස් දුන්නේය.
මෙම සාකච්ඡාවට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහචාර්ය සම්පත් අමරතුංග,කොළඹ,කරාපිටිය,ජයවර්ධනපුර, වෛද්‍ය පීඨාධිපතිවරු ද එක් වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *