කළුකැලේ ගම්මානය අදුරින් -එළිය කිරීමට එම ගම්මානයේ විදුලි අවශ්‍යතාව සපුරාලීම සම්බන්ධයෙන් සොයා බැලීමට රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා නිරීක්ෂණ චාරිකාවක

මිනිපේ කඳු මුදුනක පිහිටි කළුකැලේ ගම්මානය අදුරින් -එළිය කිරීමට එම ගම්මානයේ විදුලි අවශ්‍යතාව සපුරාලීම සම්බන්ධයෙන් සොයා බැලීමට රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
මිනිපේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කදු මුඳුනක හුදෙකලාව පිහිටි අතිදුෂ්කර ගම්මානයක් වන මැදකැලේ ගම්මානයේ ජනතාවගේ විදුලි අවශ්‍යතාව සපුරාලීම සම්බන්ධයෙන් සොයා බැලීමට සූර්ය බල සුළං හා ජල විදුලි ජනන සංවර්ධන රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා ඇතුළු නිළධාරීන් පිරිසක් කිලෝ මීටර 04 කට ආසන්න දුරක් පා ගමනින් ගමන් කර කඳු මුදුනක පිහිටි අදාළ ගම්මානය නිරීක්ෂණය කළහ.
මිනිපේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ, කඳු මුඳුනක පිහිටි අති දුෂ්කර ගම්මානයක් වන මැදකැලේ ගම්මානය උඩුදුම්බර ප්‍රදේශයට හා හසලක උඩවෙලට මායිම්ව යහන්ගල පර්වතයට පහළින් පිහිටා ඇත.මෙම ගම්මානය තුළ පවුල් 35 ක් පමණ ජීවත් වන අතර, මෙම ගම්වැසියන් දඹාන ආදීවාසීන්ගේ ළඟම ඥාති පිරිසක් බවද පැවසේ.
මෙම ගම්මානයට ලඟා වීමට පැය කීපයක් , පා ගමනින් කිලෝ මීටර 04 කට ආසන්න දුරක් වනය මැදින් ඇති අති දුෂ්කර මාර්ගයක ගමන් කළ යුතුය.කඳු මුදුනක පිහිටි මෙම ගම්මානයට විදුලි රැහැන් ඇදීමේ අපහසුතාව හේතුවෙන් මෙතෙක් මෙම ගම්මානයට විදුලිය පහසුකම්ද නොමැත. රාත්‍රියට හුළු අතු දල්වාගෙන ගමන් බිමන් යන මෙම පිරිස්, නිවෙස් තුළ භූමිතෙල් ලාම්පු දල්වාගෙන රාත්‍රී අදුර මකා ගැනීම සිදු කරයි.පාසල් වයසේ දරුවන් තම ඉගෙනීම් කටයුතුද කුප්පි ලාම්පු එළියෙන් සිදු කරනු ලබන්නේ දහසකුත් බාධාවන් මැදයි.
කඳු පන්ති අතරින් ගලා එන ජලය පානීය ජල අවශ්‍යතාව ඇතුළු අනෙකුත් අවශ්‍යතා වෙනුවෙන් හා වගා කටයුතු වෙනුවෙන් මෙම පිරිස් භාවිතා කරන අතර. ගම්මිරිස් ඇතුළු ගොඩ භෝග වගාව මොවුන්ගේ ප්‍රධාන ජීවිකාව බවට පත්ව ඇත.ගම්මානයේ නිවෙස් එක ලඟින්ම පිහිටා ඇති අතර, මොවුන් සියල්ලෝම ඥාතී පිරිස් වෙති, මේ වන විට එම ගම්මානයේ පාසල් දරුවන් සිව් දෙනෙකු සිටින අතර, එම පාසල් දරුවන් දෛනිකව කඳු පාමුල පිහිටි පාසල වෙත පා ගමනින් ගමන් කර, පාසල නිමවී නැවතත් නිවෙස් වෙත පැමිණීමට කන්ද තරණය කරනු ලබති. වාහනයක් ගමන් කළ නොහැකි මාර්ගයක් නොමැතිකමින් හා විදුලිය පහසුකම් නොමැති වීම හේතුවෙන් මෙම ගම්වැසියන් මහත් දුෂ්කරතාවන්ට පත්ව ඇතැයි ගම්වාසීන් පවසති.
ඒ අනුව අදාළ ගම්මානයේ, විදුලි අවශ්‍යාතාව සපුරාදීම සඳහා එම ගම්මානයට සූර්ය බලාගාරයක් හරහා මෙන්ම මෙම ගම්මානයේ පවතින කුඩා දිය දහරා භාවිතා කර කුඩා ජල බලාගාරයක් ආධාරයෙන් විදුලිය ලබා දීම සම්බන්ධයෙන් සොයා බැලීමට රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා මැද කැලේ ගම්මානය බලා පසුගියදා (13) පෙරවරු 7.30 ට තිසාහාමි තැන්නේ මංපොජ්ජ ඔස්සේ කඳු මුදුනට ගමන් ඇරඹීය,අමාත්‍යයවරයා තම ගමට කැඳවාගෙන යාම සඳහා ගම්වාසීන් පිරිසක්ද කඳු පාමුලට පැමිණ සිටි අතර, අමාත්‍යයවරයා විසින් ගම්වාසීන් වෙත බෙදා දීමට ගෙන ආ වියළි ආහාර මලු ඇතුළු ද්‍රව්‍යය සැවොම එක්ව ගම්මානය වෙත රැගෙන යමින් ගමන් ඇරඹීය. කුඩා අඩි පාරවල් දිගේ අති දුෂ්කර මගක් ගෙවා ගෙන ස්ථාන කීපයකදීම ගිමන් හැර කඳු මුදුනේ පිහිටි ගම්මානය වෙත පැමිණීමට පැය 04 කට ආසන්න කාළයක් ගත විය,ඒ අතරතුර යන ගමනේදී පැමිණ සිටි ගම්වාසීන්ගෙන් අදාළ ගම්මානය පිළිබඳ තොරතුරුද අමාත්‍යයවරයා විමසීය. තම ගමට ඉතිහාසයේ පළමු වරට පය තබන ඇමතිවරයා දැක ගැනීමේ අදහසින් ගම්මානයේ අනෙක් වැඩිහිටි හා බාල පිරිස් ගම්මානය මැද පිහිටි අඹ ගස යටට රොක්ව සිටියේ ඉතාමත් සතුටිනි. රතිඤ්ඤා දල්වා බුලත් හුරළු දී ගම්වැසියන් රාජ්‍යය අමාත්‍යයවරයා ඇතුළු පිරිස මහත් හරසරින් පිළිගත්හ.
අනතුරුව අමාත්‍යයවරයා හා ගම්වාසීන් සාකච්ජාවක නිරත වූ අතර,
එහිදී රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා අදහස් දක්වමින් කියා සිටියේ, මෙම ගම්මානය කඳු මුදුනක පිහිටා ඇති බැවින් විදුලි සම්බන්ධතාවය ලබා දීමට විශාල මුදලක් වැය වන නිසාවෙන් මෙපමණ කාළයක් විදුලිය ලබා දීමට නොහැකි වෙලා තියෙනවා.ඒ නිසා සූර්ය බලයෙන් විදුලිය ජනන කිරීම හරහා මෙම ගම්මානයට විදුලිය ලබා දීමට අදහස් කරනවා.කඳු මුදුනක තියෙන මෙම ගම්මානයට මාස 06 ක් ඉර එළිය තියෙනවා, තවත් මාස 06 ක් අව්ව නෑ, ඒ නිසා පවතින ජල පහරක් භාවිතයෙන් කුඩා ජල විදුලි බලාගාරයක් ඉදි කර විදුලිය නිපදවීමටද හැකි බව අමාත්‍යයවරයා පැවසීය.ඒ අනුව අදාළ ගම්මානයයේ විදුලි අවශ්‍යතාව කෙසේ හෝ සපුරා දෙන බවට අමාත්‍යයවරයා ගම්වාසීන්ට පොරොන්දු විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *