කෘතහස්ත දේශපාලනයක නොමැකෙන මතක සටහනක් තැබූ ශ්‍රී.ල.නි.ප හිටපු මහලේකම් සංචාරක,ගුවන්සේවා හා ජනමාධ්‍ය අමාත්‍ය ධර්මසිරි සේනානායක මැතිතුමන්ගේ 21 වන ගුණ සමරු දිනය අදයි(7/24).

මේ ඔහුගේ කතාවයි……..ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ උපත ලැබූ ධර්මසිරි සේනානායක මහතා 1960 දී තම වැඩිමහල් සොහොයුරු වූ රත්න දේශප්‍රිය සේනානායක මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට සහාය වීම සඳහා මුලින්ම දැදිගමට පැමිණ ක්‍රියාකාරී දේශපාලනයට එක් විය.පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ ගෞරව උපාධිධරයෙක් වන හෙතෙම ශිෂ්‍ය නායකයකු ලෙස ද පොදුජන අරගල උදෙසා මැදිහත් විය.ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයකු ලෙස සේවය කළ ඒ මහතා ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥයකු ලෙස දිවුරුම් දී 1970 තෙක් කෑගල්ල දිස්ත්‍රික්කයේ සේවය කරනු ලැබීය.දක්ෂ කථිකයකු වූ හෙතෙම ප්‍රවෘත්ති කලාව කෙරෙහි ද මහත් ඇල්මක් දැක්වීය.එවක මාධ්‍ය ක්ෂේත්‍රයේ දැවැන්තයකු වූ සිය සොහොයුරා වන රත්න දේශප්‍රිය සේනානායක සමඟ ධර්මසිරි සේනානායක මහතා මාධ්‍ය ක්ෂේත්‍රයට ද එක්විය.1970 මහ මැතිවරණයේදී එවකට එක්සත් ජාතික පක්ෂයේ නායකයකු සහ අග්‍රාමාත්‍යවරයකුව සිටි ඩඩ්ලි සේනානායක මහතා සමඟ දැදිගම ආසනයට තරග කොට සුළු ඡන්ද ප්‍රමාණයකින් පරාජයට පත් විය.බොහෝ විට තම මැතිවරණ ව්‍යාපාරයට එදා දැදිගම ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් වියහියදම් කළ බව දැදිගම පැරණි පාක්ෂිකයෝ අද ද පවසති.1970 බලයට පත් වූ සමඟි පෙරමුණ රජය යටතේ ලංකා සංචාරක මණ්ඩලයේ සභාපති ධුරයේ කටයුතු කළ සේනානායක මහතා 1970 සිට 1977 දක්වා එහි සභාපතිවරයා ලෙස වටිනා වූත්, අවංක වූත් සේවයක් ඉටු කරමින් එම ව්‍යාපාරය නඟා සිටුවීමට කටයුතු කළේය.බොහෝ දෙනා එම යුගය සංචාරක ව්‍යාපාරයේ ස්වර්ණමය යුගය ලෙස අදටත් හඳුන්වයි. මේ කාලවකවානුවේ දැදිගම ශ්‍රී. ල. නි. පක්ෂ ආසන සංවිධායකවරයා ලෙස කටයුතු කරමින් දැදිගම ඇතුළු කෑගල්ල දිස්ත්‍රික්කයේ බොහෝ දෙනෙකුට සංචාරක ක්ෂේත්‍රයේ රැකියා ලබාදීමට කටයුතු කළේය.අඛණ්ඩව ශ්‍රී. ල. නි. පක්ෂයේ රැඳී සිටිමින් පක්ෂයේත්, දැදිගම ඇතුළු කෑගල්ල දිස්ත්‍රික්කය පුරාම පක්ෂ සංවිධාන කටයුතුවල නියැලුණේය.1980 දී පැවති මහ මැතිවරණයෙන් හා පුරා කියා පාර්ලිමේන්තුවට තේරී පත් වූ ධර්මසිරි සේනානායක මහතා පාර්ලිමේන්තුවේත්, ඉන් පිටතදීත් යුක්තිය, අසාධාරණය වෙනුවෙන් දැඩි සටනක යෙදුණේය. ධර්මසිරි සේනානායක නම් වූ මේ පුංචි මිනිසා උත්සාහය හා කැපකිරීමෙන් ශ්‍රී. ල. නි. පක්ෂයේ ඉහළම පුටුවට යෑමට සමත් විය.පක්ෂයේ විවිධ අසමගිකම්, මත ගැටුම් පැවති වකවානුවේ සියලු වාද භේද දුරලා පක්ෂය නඟා සිටුවමින් මෙරට ප්‍රගතිශීලී ජනතාවගේ ඉමහත් ගෞරවයට පාත්‍ර විය. 1989 වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය ලේකම් තනතුරත්, පක්ෂයේ නීතිමය හා විදේශ කටයුතු පිළිබඳත්, වෘත්තීය සමිති පිළිබඳ සම්බන්ධීකරණ ලේකම්වරයා ලෙසත් විශාල කාර්යභාරයක් ඉටු කළේය.අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ධුරයේ කටයුතු කරමින් සුවිශේෂ වූ යුග මෙහෙවරක් ඉටු කළ සේනානායක මහතා 1994 මහ මැතිවරණයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තුවට පිවිසියේය. පක්ෂයේ විශාල වැඩ කොටසක් පැවරී තිබීම නිසා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවිසිය ද ධර්මසිරි සේනානායක නම් වූ ඒ මානව හිතවාදියා දැදිගම සංවිධායක ධුරය අත්හලේ නැත.දැදිගම සංවිධායක ධුරය උසුලමින් දැදිගම ඇතුළු සමස්ත කෑගල්ල දිස්ත්‍රික්කයටම සුවිශේෂී යුග මෙහෙවරක් ඉටුකිරීමට කිසිදා අමතක නොකළේය. ධර්මසිරි සේනානායක මහතා මියයන මොහොත වන විට පොදුජන එක්සත් පෙරමුණ රජයේ ජනමාධ්‍ය, සංචාරක හා ගුවන් සේවා ඇමැතිවරයා ලෙස කටයුතු කරමින් සිටියේය.ඒ යුගය දැදිගමට පමණක් නොව සමස්ත කෑගල්ල දිස්ත්‍රික්කයටම දීප්තිමත් වකවානුවක් විය. එම යුගයේ විරැකියාවෙන් පෙළුණු විශාල පිරිසකට රැකියා අවස්ථා ලබාදීමට කටයුතු කළේය.මේ යුගයේ ධර්මසිරි ඇමැතිගෙන් රැකියා ලබාගත් බොහෝ දෙනෙක් ලේක්හවුස් ආයතනය, ගුවන් විදුලි සංස්ථාව, රූපවාහිනි සංස්ථාව, එයාර් ලංකා ආයතනය, ශ්‍රී ලංකා ගුවන් තොටුපළ අධිකාරිය, රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව ඇතුළු ආයතන රැසක අදටත් ධර්මසිරි සේනානායක නම් වූ මේ සැබෑ මානව හිතවාදියා ගැන නිතර සිහිපත් කරති.ධර්මසිරි සේනානායක මහතාට දේශපාලන ගමන් ම‍ඟේ පහළ සිට ඉහළට ඒමට වසර 35 ක පමණ කාලයක් ගත විය. එකී කාලවකවානුවේ විවිධ තනතුරු දරමින් දේශපාලන ගමන් ම‍ඟේ හිනිපෙත්තටම ගමන් කළඳ, දේශපාලන පොරපිටියේදී වැටි වැටී ඉදිරියට ඒමට ශක්තිය ලබා දුන් දැදිගම ප්‍රගතිශීලී ජනතාව කිසිදා අමතක කළේ නැත. දැදිගම ජනතාවගේ හිතවාදියා වූ පුංචි මහත්මයා ‍විවිධ තානාන්තර දරමින් කිසිදා දැදිගම ජනතාව අමතක නොකිරීම නිරහංකාර දේශපාලනයේ සංකේතයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *